සටහන: ආගම සහ ස්ත්‍රිය

තමන් උපයා ගන්නා දෙයින් ජීවත් වන්නට අපහසු වන සමාජයක නොසතුට පිටට නොඑන්නටනම් ඒවා අමතක කරන බිල්ලන් පෙන්විය යුතුය. ඉසිලිය නොහැකි ජීවන බර සමඟ පවුලේ කටයුතු පිරිමසා ගන්නට දස අතේ සිතන මේ රටේ ස්තී‍්‍රන්ට ඒ පෙන්වන බිල්ලන් නිසා අන්ද මන්ද වෙනවාට අමතරව බිල්ලන්ට ගොදුරු වන්නට ද සිදු වේ. වසර තිස් ගණනක් ප‍්‍රභාකරන් නම් බිල්ලා දෙස බලා මේ රටේ ජනතාවට තමන්ගේ බොහෝ අයිතිවාසිකම් ගැන නිහඬ වන්නට සිදු විය. තමන්ට අහිමි වන කිසිවක් ගැන කතා කළහොත් එය, රට බිල්ලට ගන්නට අර අඳින බිල්ලාට සහයෝගය දැක්වීමක් ලෙස අර්ථ ගැන්විණ. ඒ බිල්ලා විනාශ වී වසර 5ක් ඉක්ම ගොස් ඇත. එහෙත් රටේ සමස්ත ජනතාව: විශේෂයෙන් දෙමළ ජනතාව වෙත තවමත් දබරැුඟිල්ල උරුක් කර ගෙන සිටින්නේ ඒ විනාශ කළ බිල්ලාගේ අවතාරය මය.

ජනතාවගේ ජීවන බර දිනෙන් දින වැඩිවේ. කෑමට වඩා ජනතාවට වියදම් කරන්නට සිදු වී ඇත්තේ සෘජු බදු මෙන්ම වක‍්‍ර බදුවලටය. ජනතාවගේ ඒ පීඩාව පුපරා යන්නට නොදී සිත වෙනතක හරවන අලූත් බිල්ලන් පහළ වීම/කිරීම ද අඩුවක් නැතිව සිදුවේ. ජිනීවා බිල්ලන්, බටහිර කුමන්ත‍්‍රණ බිල්ලන්, හලාල් බිල්ලන්, ෂරීයා බිල්ලන් වැනි මෙකී නොකී බිල්ලන් පෙන්නමින් මනුෂ්‍යත්වයේ ගෞරවය උදෙසා හඬ අවදි කරන ජනතාව මර්දනය කෙරේ. තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැඟීම සඳහා ව්‍යවස්ථාවෙන් මෙන්ම මානව හිමිකම් ප‍්‍රඥප්තීන් මඟින් ලැබී ඇති වරප‍්‍රසාද අනුව සාමකාමී උද්ඝෝෂණයක නිරත වීමට ඇති අවස්ථාව පවා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, විවිධ කපටි උපක‍්‍රම මඟින් තහනම් කෙරෙන තත්ත්වයක් වර්ධනය වී තිබේ. ඒවා මර්දනය සඳහා තහනම් නියෝග ගැනීමට යුක්තියේ දෙවඟනගේ සහාය ලබා ගන්නේ සහ ඒ සඳහා මාර්ග පාදා ගෙන ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී උපක‍්‍රම මඟින් බව ලෝකයට ම ප‍්‍රදර්ශනය වී ඇත. මහජන උද්ඝෝෂණ පමණක් නොව කුඩා කණ්ඩායම් සඳහා පවත්වන පෞද්ගලික වැඩ සටහන්වලට පවා කඩා වදින, ඉහත කී බිල්ලන් දඩමීමා කර ගන්නා කොටස් නිර්ලජ්ජිතව වැජඹේ. 2014 වසරේ ප‍්‍රථම අර්ධ වාර්ෂික ඇය කලාපය සූදානම් වන අවස්ථාව වන විට මේ විවිධාකාර බිල්ලන් පෙන්වන අයගේ කි‍්‍රයා කලාපයන් නිසා අපේ රටේ ස්තී‍්‍රන්ට සිදු වී ඇත්තේ මෙතෙක් තමාට හිමිව තිබූ අයිතිවාසිකම් ද උදුරා ගන්නා තත්ත්වයකට මුහුණ දෙන්නටය.

අපේ රට ආගමික යුද්ධ ඇති වූ රටක් නොවුණත් තම පැවැත්ම සඳහා සතුරන් මවා ගෙන කි‍්‍රයා කරන භික්‍ෂූන් සුළුතරයක් සහිත බෞද්ධ බලවේග, අනෙකුත් ආගමික කණ්ඩායම් හා පිළිගැනීම් මර්දනය කරන කඩා පනින හමුදාවන් බවට පත් වූ වර්තමාන පරිසරයක අපට ජීවත් වන්නට සිදු වී ඇත. මෙවැනි කි‍්‍රයා නිසා ඇති වන ආන්දෝලනයන්ගෙන් ඇස ගිනි කන වැටෙන ජනතාවගේ හිත කකියන ගැටළු යටපත් වේ. එනිසා ම රජය ද නොදරුවන්ගේ හුරතල් ගැන නොතකා හරින වැඩිහිටියන් සේ මේ තක්කඩිකම්වලට නෑසූ කන්ව සිටී. රට කරවන්නන්ගේ අවිචාරය සහ අනිසි කි‍්‍රයා නිසා විනාශ වන ආර්ථිකයේ සියලූ මහ බර අදින ජනතාව නිහඬ කිරීමට, එක් එක් බලකාවලින් ජනතාව මත මුදා හරින ත‍්‍රස්තවාදය ආශිර්වාදයක් වී ඇති සෙයක් පෙනේ. පසු ගිය වකවානුවේ මෙම කඩා පනින හමුදා නිසා සියලූ ප‍්‍රඥප්තීන්ගෙන් අනුමත මෙන්ම රජයේ අනුග‍්‍රහය ද සහිත ස්තී‍්‍රන්ගේ ප‍්‍රජනන සෞඛ්‍ය අයිතීන්ට පවා බාධා මතු විය. පවුලේ යහපත, දරුවන්ගේ සහ ස්තී‍්‍රන්ගේ සෞඛ්‍යාරක්‍ෂාව ආදිය සලකා රටක් වශයෙන් සැලසුම් සහගතව හඳුන්වා දී ඇති පවුල් සැලසුම් ආයතන වෙත මෙසේ කඩා වැදීම් සිදු විය. මුස්ලිම් ආගමික සංස්කෘතියට අයත් කාන්තා ඇඳුම් වෙනස් කරන්නට බලපෑම් සිදු විය. හිජාබයට මුවා වී අපරාධ සිදු වේ නම් ඒ සඳහා ඇති කළ යුත්තේ අදාල ස්ථානවල ආරක්‍ෂාව තර කිරීමය. සියල්ලට ප‍්‍රථමයෙන් අපරාධ, මංකොල්ලකෑම් වැඩි වර්ධනය වන තත්ත්වය නැවැත්වීමට කටයුතු සංවිධානය කිරීමය. ඒ සඳහා පියවර ගත යුත්තේ බලධාරීන් මිස බලධාරීන්ගේ අනුහසින් වැජඹෙන කඩා පනින හමුදා නොවේ. මේ තක්කඩිකම්වලට උඩ ගෙඩි දීමේ අභාග්‍ය සම්පන්න ප‍්‍රතිඵලය, ඇය සඟරාව අවසන් කරන මෙම ජූනි මස අලූත්ගම සහ ඒ අවට ප‍්‍රදේශයේ ඇති වූ ඛේදවාචකයෙන් පෙනේ. මෙම ඛේදවාචකය ඇති කිරීමට ජනතාව උසිගැන්වීමේ ගිනි අවුලූවන්නට නායකත්වය දුන් කඩා පනින හමුදාවලට එරෙහිව කිසිදු කි‍්‍රයා මාර්ගයක් ගැනීම හෝ අවවාද කිරීමක් හෝ සිදු වූයේ නැත. මෙවැනි තත්ත්වයන් යළි ඇති වුවහොත් ආගමික අන්තවාදය නිසා ලෝක ලැජ්ජාවට පත් රටවල් අතරට අලූතින් ම එක්වන රට බවට ශී‍්‍ර ලංකාවට පත්වන්නට සිදු වනු ඇත.

ලෝකයේ මුස්ලිම් අන්තවාදය නිසා කාන්තාවන්ට මුහුණ දෙන්නට සිදු වූ ප‍්‍රශ්න හා ඒ හරහා ම ඒවාට එරෙහිව ලෝක අවධානය යොමු වූයේ කලක සිටය. ඒ ඒ ආගමික සංස්කෘතීන් තුළ අදාල ශාස්තෘවරුන් ද අනුමත නොකළ වෙනස්කම් ස්තී‍්‍රන් විෂයයෙහි සිදු වුව ද ශී‍්‍ර ලංකාව තුළ ඒවා අභ්‍යන්තර කතිකාවන්වලට ලක් වෙමින් තිබිණ. ඒ ඒ ආගමික නායකයන් සහ දැනුවත් කණ්ඩායම් හරහා ඇති වන සාධනීය සංවාද මඟින් එම වෙනස්කම් මඟහරවා ගැනීමට යම් යම් උත්සාහයන් ගැනීම දක්වා පමණක් එම කතිකා සීමා වී තිබිණ.

ආගම් ඇදහීම හා වතාවත්වලට යොමුවීම කෙනෙකුගේ පෞද්ගලික දෙයකි. එමෙන්ම ආගමික මතවාද ගැන කතිකා කිරීම ඉතා සංවේදීව සිදු කළ යුතු දෙයකි. එම මතවාද ප‍්‍රජාතන්ත‍්‍රවාදී වූවා හෝ නොවූවා හෝ ඒවා ගැන සලකා බැලිය යුත්තේ එම ආගමික හෝ ඇදහිලිවලට අදාල ජන කණ්ඩායම් විසිනි. නමුත් ඒ පෞද්ගලිකත්වය අභිබවා මෑත කාලයේ ආරම්භ වූ අන්තවාදී හා මූල ධර්මවාදී හැසිරීම් නිසා මේ රටේ ජනතාවට හා විශේෂයෙන් ස්තී‍්‍රන්ට මුහුණ පාන්නට සිදු වී ඇති අවතක්සේරුව අපගේ සංස්කෘතීන් තුළ තහවුරු වීමට ඉඩ හැරීම අනතුරුදායකය. එහෙයින් ඒ පිළිබඳ කතිකාවක් සමාජය තුළ ගොඩනැගිය යුතුව ඇත. එක් අතකට එය, ඒ ඒ ආගමික සංස්කෘතීන් තුළ වර්තමානයේ ස්තී‍්‍රන්ගේ තත්ත්වය වෙනස්කම්වලට භාජනය වී ඇති ආකාරය හා ඒවායේ සාධනීය හා නිශේධනීය තත්ත්වයන් විමසා බැලෙන සංගායනාවක් වැනිය.

මෙවර ඇය කලාපය වෙන් වන්නේ එම සංගායනාවට මූලාරම්භයක් සැපයීම සඳහාය.