දැරියන් දේවත්වයට පත් කරන නේපාල් චාරිත‍්‍රය

ආගමික අන්තවාදීන් විසින් ස්ත‍්‍රීන්ව තැනෙක ප‍්‍රචණ්ඩත්වයට හසු කෙරෙද්දී තවත් ජන කණ්ඩායම් දේවතාවියන්ට පුද පූජා පවත්වති. හින්දු ආගමේ ශ‍්‍රී ලක්ෂ්මී, සරස්වතී දේවි, දුර්ගා දේවි හා භද්‍ර කාලී දේවිය මේ අතුරින් ප‍්‍රධාන තැනක් ගනී. කතෝලික ආගමේ මරිය මව්තුමිය ද ඉමහත් භක්තියකින් යුතුව අදහනු ලැබේ. මේ අතර වර්තමාන නේපාලනයේ වැඩිවියට පත් නොවූ දැරියක් ‘කුමාරී’ ලෙස අභිෂේක කොට දේවත්වයේ ලා සලකන චාරිත‍්‍රයක් හින්දු ජනතාව අතර පවතී. ඇය දුර්ගා දේවියගේ ළමා කාලය වන ‘තලේජු’ ලෙස සැලකෙයි. කුමාරී යනුවෙන් අදහස් කෙරෙනුයේ කන්‍යාවිය යන්නයි. තම පවුලෙන් දියණියක් මේ පදවිය සඳහා තෝරා ගැනීම මහත් භාග්‍යයක් සේ නේපාල වැසියෝ සලකති. මෙම දැරියන්ව සිරුරේ කිසිදු කැළලක් ඇති නොවන සේ ආරක්ෂා කරති. ඔවුන්ව දෝලාවකින් ඔසවා ගෙන යනු ලබන අතර දෝලාව දක්වාත් පුද පූජා පවත්වන ස්ථානය වෙතත් ගෙන යන්නේ ඇයගේ පියා විසින් වඩා ගෙනය. සංකේතවත් දේව ප‍්‍රතිරූපයක් සේ සලකා ඇයට වන්දනාමාන කළ ද එහි අශුභවාදී අවස්ථාව වන්නේ තරුණ වියට එළැඹීමෙන් පසු ඇයව විවාහ කර ගැන්මට තරුණයන් අකැමති වීමය. ඇය විවාහ කර ගන්නා පිරිමියා මරණයට පත් වේය යන විශ්වාසයක් ඔවුන් තුළ පැවතීම එයට හේතු වේ.

පුෂ්පා

Advertisements