ස්තී‍්‍රන්ට සීමා පනවන ප‍්‍රචණ්ඩ බලකා

Edna
අද අප රට මුහුණ දී සිටින ප‍්‍රධාන ගැටළුවක් වනුයේ ජාතික සමගියට හා නිදහසට බාධාවන අයුරින් කි‍්‍රයාත්මක වන ආගමික අන්තවාදීන්ගේ කි‍්‍රයාකාරකම්ය. ආගම් මූලධර්මවාදීන් විසින් ඒ ඒ අගමික නායකයින් දෙසූ ධර්මයට පටහැනිව සිදු කරන අන්තවාදී කි‍්‍රයාකාරකම්වලින් පොදුවේ සියලූ ම ජන කොටස් පීඩාවට පත් වේ.

බෞද්ධ ආගම් අන්තවාදීන් විසින් බුද්ධ දේශනාවේ උත්තුංග ගුණය ද හරය ද විනාශ කරමින් සිදු කරනු ලබන විනය විරෝධී මෙන්ම මනුෂ්‍ය ධර්ම විරෝධී කි‍්‍රයා පසුගිය වසර කිහිපය තුළ වර්ධනය වී අද වන විට ජීවිත, දේපොළ විනාශ කරන පිළිලයක් බවට පත්වී ඇත.

ඕනෑ ම රටක ප‍්‍රධාන ජාතිය හැර තවත් විවිධ ජාතීන්ට ජීවත්විය හැකිය. ලංකාවට ද එසේමය. එමෙන්ම ඕනෑ ම ආගමක් ඇදහීමේ අයිතිය ද ලාංකිකයන්ට ලැබී ඇත. ශී‍්‍ර ලංකා ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ III වන පරිච්ෙඡ්දයේ මූලික අයිතිවාසිකම් හා නන්වැදෑරුම් නිදහස යටතේ ආගමික නිදහස පිළිබඳව සටහන් වන්නේ පහත දැක්වෙන අයුරිනි.

”15(1) සෑම තැනැත්තෙකුට ම මත දැරීමේ සහ තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳ ගැනීමේ නිදහස ද, ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට, හෘද සාක්‍ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම ඇත්තේය.”

රට තුළ පැන නැගුණ අර්බුද හා ගැටළුවලට ප‍්‍රධාන හේතුව වී තිබෙන්නේ දේශපාලන හැසිරීම්ය. මැති ඇමතිවරු ඇතුළු රාජ්‍ය නායකයින් සහ රාජ්‍ය ආයතන හා එහි නිලධාරීන් නිසි පරිදි තම සේවය ඉටු නොකරන්නේ නම් රටක ආර්ථික සංවර්ධනය හා මානව සංවර්ධනයට අදාළ සම්බන්ධතා නිසි ලෙස කි‍්‍රයාත්මක නොවී රට අවපාතයට ඇද වැටෙන බව පැහැදිලි වූ කරුණකි.
මෙය අද පවතින දේශපාලනයේ පමණක් වැරැද්දක් නොවන බව ද සටහන් කළ යුතුය. මෑත ඉතිහාසයේ බලයට පත් වූ සෑම රජයක ම කි‍්‍රයාකාරකම්වල ප‍්‍රතිඵල දැන් අපි අත්විඳින්නේ වෙමු. අනාගතයේ අපේ දරු මුණුපුරන්ගේ පරම්පරා ද මෙයටත් වඩා ඛේදනීය ලෙස මේ විනාශකාරී දේශපාලන හැසිරීම්වල ප‍්‍රතිඵල භුක්තිවිඳිනු ඇත. ආර්ථික ය, අධ්‍යාපන, ආගමික, සෞඛ්‍ය, සංස්කෘතිය යන ක්‍ෂේත‍්‍රවල පොදුවේ පවතින ගැටළු මෑත ඉතිහාසයෙන් ආරම්භ වී වර්තමානය දක්වා ද, අනාගතයේ ද අපට දරන්නට සිදුවනු ඇත.

පසුගිය වසර කීපය තුළ ගොඩනැඟුණ එක් අන්තවාදී කි‍්‍රයාකාරකමක් වූයේ බෞද්ධ අන්තවාදයයි. මෙම බෞද්ධ අන්තවාදය ගොඩනැගෙන්නේ අනෙකුත් ආගම් ඇදහීමට හා පවත්වා ගැනීමට විරෝධතා මතු කරමින් හා උප්පත්ති පාලන ක‍්‍රම නවත්වන ලෙස රජයට බල කරමිනි. සිංහල ජාතිය ගොඩනැගීමේ පරමාදර්ශී කි‍්‍රයාවේ පූර්ව කි‍්‍රයාකාරීන් වීමේ අභිමතය යථාර්ථයක් කර ගනු පිණිස මේ බෞද්ධ මූලධර්මවාදී, අන්තවාදී කණ්ඩායම් කි‍්‍රයාත්මක වේ.

ඔවුන්ගේ අන්තවාදී කි‍්‍රයා නුදුටුවා සේ සිටීමේ ප‍්‍රතිඵල ලෙස තවත් ජාතියකට එරෙහි ම්ලේච්ඡ කි‍්‍රයාවල දිගුව අලූත්ගමින් ඇරඹුණ හැටි ලොවට රහසක් නොවේ.

බෞද්ධ බලකාවල නැගිටීම

බොදු බල සේනා සංවිධානය සිය ප‍්‍රථම ජාතික සම්මේලනය 2012 ජූලි 28 වෙනි දින බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත් වූ අතර එහිදී යෝජනා වූ ප‍්‍රධාන කරුණක් වූයේ රජයේ සෞඛ්‍ය සායනවලින් දියත් කරනු ලබන වාසෙක්තමී සහ එල්.ආර්.ටී. ස්තී‍්‍ර සැත්කම් නැවැත්වීමට කටයුතු කළ යුතු බවය. මෙහිදී පුරුෂ ප‍්‍රජනන ශක්තිය සැත්කමින් නැවැත්වීමට එරෙහිව කටයුතු කළ යුතු බව ඔවුහු යෝජනා කරනු ලැබිණ. 1970 දශකයේදී පමණ අප රටට වසෙක්තමී සැත්කම්, එල්.ආර්.ටී. සැත්කම් සහ උපත්පාලන ක‍්‍රම හඳුන්වා දුන්නේ රාජ්‍ය මැදිහත් වීමකින් අනතුරුව රට තුළ සිදු කෙරුණ ජන සංගණන දත්ත ද උපයෝගී කර ගනිමිනි. මෙහි දී ඔවුන් අවධාරණය කර සිටින්නේ ප‍්‍රජණනය සඳහා ඇති පුද්ගල අයිතිය අහෝසි කරමින්, සිංහල ප‍්‍රජාවගේ උපත් ප‍්‍රතිශතය වැඩි කළ යුතු බවය. රටක ජනගහන වර්ධන වේගය එම රටේ ආර්ථිකයට හා පවුලට අනිසි බරක් එකතු කරන බව මෙම භික්‍ෂූන් විසින් අමතක කර ඇත. එමෙන්ම ඔවුන් ගිහි ජීවිතයට අනිසි බලපෑම් ඇති කිරීම ද සිදු කරනු ලැබේ.

ඔවුන් 2013 පෙබරවාරි 17 වන දින මහරගම දී රැස්වීමක් පැවැත්වීය. එම රැළියට භික්‍ෂූන් 1300 ක් පමණ ද රැස් වූ අතර 16,000 ක් පමණ ජනකායක් පැමිණි බව වාර්තා විය. එම රැුළියේදී බොදු බල සේනාවේ ප‍්‍රධාන ලේකම් වන ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මුස්ලිම් අන්තවාදීන්ට එරෙහි විය යුතු බව ප‍්‍රකාශ කර ඇත. එමෙන්ම ලංකාවේ ස්ත‍්‍රීන් මැද පෙරදිග සේවයට යාම තහනම් කළ යුතු බව ද, ප‍්‍රකාශ කර ඇත. ස්ත‍්‍රීන් විසින් උපත් පාලන ක‍්‍රමයක් වශයෙන් ගනු ලබන ප‍්‍රතිසන්ධිය වළක්වන ඖෂධ ලබා ගැනීම (උපත් පාලන පෙති) තහනම් කිරීමට රජයට බලපෑම කළ යුතු බවද අවධාරණය කර ඇත.

එහිදී මුස්ලිම් ව්‍යාපාරිකයන්ට අයත් ”ෆැෂන් බග්, නෝලිමිට්” වැනි ඇඳුම් සාප්පුවලින් ඇඳුම් මිල දී ගැනීම සිංහල බෞද්ධයන් විසින් නොකළ යුතු බව ද ප‍්‍රකාශ කෙරිණි. මෙම ඇඳුම් සාප්පුවලින් වඩාත් රෙදිපිළි මිල දී ගනු ලබන්නේ ස්ත‍්‍රීන් ය. බෞද්ධ භික්‍ෂුවකගේ කාර්යභාරය විය යුත්තේ ගිිහියන්ගේ ගැටළුවලට අවශ්‍ය පරිදි ධර්ම කාරණා කියා දෙමින් ඔවුන්ගේ ජීවිතය නිසි ලෙස හැඩගස්වා ගැනීමට ඔවදන් දෙනු විනා ”මෝඩ ශ‍්‍රද්ධාවෙන්” පෙළෙන බෞද්ධාගමිකයන්ට ඇඳුම් සාප්පු තහනම් කිරීම නොවේ.

බුදු දහම ස්තී‍්‍ර/පුරුෂ විෂම භාවිතාවකින් තොරව අනුගමනය කර සාක්‍ෂාත් කරගත හැකි දහමකි. තේරි ගාථාවලින් කියැවෙන තෙරණියන්ගේ උදාන වාක්‍ය පරිශීලනය කිරීමේදී පවා පෙනී යන්නේ පොදුවේ සත්ව සමූහය උදෙසා ම දෙසූ නුවණින් අවබෝධ කරගත හැකි දහමක් ලෙසය.
”බුදුන් වහන්සේ සංඝ සමාජය සඳහා ශික්‍ෂා පද්ධතියක් යෝජනා කළහ. විනය පිටකය යනුවෙන් හැඳින්වෙන ග‍්‍රන්ථයේ කොටසක ඒවා අඩංගුව ඇත.” (බෙල්ලන්විල විමලරතන හිමි: නොසැලෙන මනස: පිටු 100) ඒ බුදුරජාණන් වහන්සේ සංඝ සමාජය උදෙසා ශික්‍ෂා පැන වූ අයුරුය. විනයධර භික්‍ෂු ශාසනයක් යනු රටක මුදුන්මල්කඩක් ද වන්නේය. එමෙන්ම බුද්ධ ධර්මයේ ස්ත‍්‍රීන්ට අසමාන ලෙස සැලකිය යුතු බව හෝ ඔවුන්ගේ ශාරීරික අයිතීන් පුරුෂයන් විසින් පවරා ගත යුතු බව සඳහන් වී නොමැත.

”බුදු දහමේ වෙනත් පෙරදිග ආගම්වල මෙන් කාන්තාවන් කෙරෙහි විරෝධතාවයක් පැවැතියේ නැත. එය මුස්ලිම්වරුන්ගේ අන්තඃපුරය, පර්දාව හෝ හින්දු ධර්මයේ සති පූජාව මෙන් ගර්හිත දෙයින් වියුක්තය. අද වන තුරුම කාන්තාවන්ගේ නිදහස පිළිබඳ අයිතිය ආරක්‍ෂා වී තිබේ. බෞද්ධ කාන්තාවකට පෞද්ගලිකත්වයක් තිබේ. ද්‍රව්‍යයක් හෝ භාණ්ඩයක් නොවේ.” (බෙල්ලන්විල විමලරතන හිමි: නොසැලෙන මනස: පිටු 107)

මෙම බෞද්ධ දර්ශනය හා බෞද්ධ ප‍්‍රතිපත්ති අනුගමනය නොකරන, බෞද්ධ අන්තවාදය වපුරන බෞද්ධ බලකායන් විසින් වඩාත් පීඩාවට පත්කරනු ලබන්නේ ස්තී‍්‍රන් ය. මෙහිදී මෙම බෞද්ධ බලකායන්ට එකතු වූ ගිහි පිරිස ද මේ ”මෝඩ ශ‍්‍රද්ධාවෙන්” යුතුව අශිෂ්ඨ කි‍්‍රයාකාරකම්වලට අනුබල දේ.

ප‍්‍රජනන අයිතියට සීමා

ප‍්‍රජනන අයිතිය සීමා කර ගනිමින් තමන්ට අවශ්‍ය ප‍්‍රමාණයට දරුවන් බිහි කිරීම ස්ති‍්‍රයට ඇති අයිතියකි. එමෙන්ම එම අයිතිිය පිළිබඳව ලාංකීය ස්තී‍්‍රන් බොහෝ දෙනෙක් කි‍්‍රයාත්මක වන්නේ තම සැමියන්ගේ ද අනුමැතිය හා පෙළඹවීම මතය. ප‍්‍රතිසන්ධිය වළක්වන ඖෂධ ලබා ගැනීම කුසලයක් ද/අකුසලයක් ද යන ධර්ම ගැටළුව විසඳීම පසෙක තැබූ මේ බොදු මැර බලකායන් විසින් ගොඩනැඟීමට වළිකන ජනමතය වනුයේ ඉපදෙන්නට සිටින එකා ”සිංහලයෙක්” ද නැතහොත් වෙනත් ජාතියක එකෙක් ද යන කෲර මානසිකත්වයයි. එල්.ආර්.ටී. සැත්කම්, ප‍්‍රතිසන්ධිය වළක්වන ඖෂධ ගැනීම ආදිය බොහෝ විට මවගේ සෞඛ්‍ය තත්ත්වයේ සුදුසු/නොසුදුසුකම සොයා බලා වෛද්‍යවරුන් විසින් සහතික කරනු ලබන්නක් ද වේ. එමෙන්ම රැුකියාවන්ට යන ස්ත‍්‍රීන්ට දරුවන් දෙදෙනෙකුට වඩා රැුක ගැනීමට නොහැක්කේ දරුවන්ගේ ආරක්‍ෂාව සඳහා නිවසේ වැඩිහිටියෙකු නොමැතිවීම හේතුවෙනි. අනෙක් අතට අද පවතින විෂම ආර්ථිකයට මුහුණු දීමට පවුලකට එක් පුද්ගලයෙකුගේ ආදායම පමණක් සෑහේ ද? මේ ගිහි ජීවිතයේ කටුක වූ යථාර්ථයයි. මේ යථාර්ථයෙන් ඔබ්බට ගොස් හීන මවමින් මේ දේශකයින් වහන්සේලා දේශනා කරනු ලබන්නේ ‘‘ජාතිය ගොඩනැඟීමට දරුවන් වැදිය යුතුය’’ යන පුහු තර්කයයි. ඔවුහු අමතක කළ කරුණක් තිබේ.’’ එනම් ජාතිය ගොඩනඟන්නේ දරුවන් හා ඔවුන් වැදූ මව්වරුන් බවය.
ගිහි කි‍්‍රයාකාරකම්වල යෙදෙන මෙම අන්තවාදී බෞද්ධ කණ්ඩායම්, කිහිප වරක් ම එල්.ආර්.ටී. සැත්කම් (ස්ත‍්‍රීන්ගේ දරු උපත් වළැක්වීමේ සැත්කම්) සිදු කරනු ලබන සායන වෙත ගොස් එහි වූ වෛද්‍ය භාණ්ඩ විනාශ කරමින් අනර්ථකාරී ලෙස හැසිරී ඇති වග පුවත්පත්වල පළ වූ වාර්තාවලින් අපි දැක ඇත්තෙමු. එල්.ආර්.ටී. සැත්කම යනු රජය පිළිගත් සෞඛ්‍ය ආයතන මඟින් සිදු කරනු ලබන රජයේ මැදිහත්වීමකින් යුතුව ඉටු කෙරෙන කාර්යයකි.

‘‘ආසියාවේ ලක්‍ෂ ගණනක් ස්තී‍්‍රන් අතර බුදු දහම නිකම් විලාසිතාවක් පමණක් නොව සජීවී භක්තියකි. බුදුන් වහන්සේගේ ඉගැන්වීම් පිළිබඳව ස්ති‍්‍රයගේ හැඟීම් වඩා උද්වේගකර වීමට ඉඩ ඇත. හේතුව ඇය ශාරීරික වේදනාව අත්දැකීමෙන් ම අවබෝධ කරගෙන ඇති හෙයිනි. උත්පාදනය කිරීමේ සතුට, ස්ති‍්‍රය හා පුරුෂයා යන දෙදනා ම ලබති. එහෙත් දරු උපතේ වේදනාව දන්නේ ස්ති‍්‍රය පමණි.’’ (නොසැලෙන මනස; බෙල්ලන්විල විමලරතන : 2013, 107)

බොදු බල සේනා සංවිධානය විසින් පැවැත් වූ සිය ප‍්‍රථම සැසියේ දී පුරුෂයන්ට සිදු කරනු ලබන වාසෙක්තමී සැත්කම ද නැවැත්වීමට යෝජනා කරනු ලැබ ඇත. වාසෙක්තමී සැත්කම මඟින් ද සිදු කරනු ලබන්නේ ස්ති‍්‍රයක් ගැබ් ගැනීම සිදු නොකිිරීමයි. ග‍්‍රාමීය ප‍්‍රජාව සඳහා වඩාත් දියත් කරනු ලබන මෙම සෞඛ්‍ය සේවාවන් ස්ති‍්‍රයකගේ සෞඛ්‍ය තත්ත්වය පවත්වා ගැනීම සඳහා කරනු ලබන සේවාවකි. දරුවන් අතර පරතරය පවුලට දැරිය හැකි දරුවන් ප‍්‍රමාණයක් ලබා ගැනීම වැනි කරුණු කාරණා ගිහි ජීවිතයට අයත් කරුණුය.

ඇඳුම ප‍්‍රශ්නයක් කර ගැනීම

මෙවැනි භික්‍ෂු/ගිහි පෙරමුණක් මෑත දිනක දී පොදු ස්ථානයකට හිජ්රාව/පර්දාව පැළඳ පැමිණි මුස්ලිම් ස්ත‍්‍රියකට එරෙහි වූයේ ඔවුන් ගෑණු ද පිරිමි ද කියා හඳුනා ගන්නේ කෙසේදැයි කියා ආවේගශීලීව කරුණු දක්වමිනි. හිජ්රාව, පර්දාව පැළඳීම හෝ නොපැළඳීම මුස්ලිම් ස්ත‍්‍රීන් සතු අයිතියකි. කුමන ජාතියක හෝ ආගමක වේවා ඔවුන්ගේ අනන්‍යතාවය දක්වන ඇඳුමක කොටසක් අපට ඉවත් කළ නොහැක. එය වෙනස් කළ යුත්තේ ඔවුන්මය. මුස්ලිම් ස්ත‍්‍රීන්ට ගෝනි බිල්ලන් කියා සරදම් කිරීම හා අපේ ගමේ ගොඬේ භාෂාවෙන් කියන ලෙස ”කට කැඩුණු කතා” කීම භික්‍ෂුවකට තරම් නොවේ. එයින් සැහැල්ලූවට පත්වන්නේ පොදු සංඝ සමාජය ම බව ඔවුන් නොදන්නවා යැයි සිතිය නොහැකිය.

අනෙක් අතට මේ පෙළ ගැසෙන්නේ මුස්ලිම් ස්ත‍්‍රීන්ගේ ඇඳුම පිළිබඳ මතවාදයක් ද නොවේ. ව්‍යාපාරික ඊර්ෂ්‍යාවක් ද නොවේ. මුස්ලිම් ජාතිකයන් දේශපාලඥයින්/ජනතාව හා සිංහල බෞද්ධයන් අතර වර්ගවාදී ගැටුමක මූලාරම්භයයි.

2013 අගෝස්තු මස 26 වන දින ”රාවණා බලය” භික්‍ෂු සංවිධානය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් අංශයේ ප‍්‍රධානී නවනීදන් පිල්ලේ මහත්මියට රටින් පිටවන ලෙසට බලකරමින් පෙළපාලියක් ආරම්භ කළහ. එම සංඝ සංවිධානය දියත් කළ පෙළපාලියේ මුලින් ම සිටියේ කුඩා සාමණේර හිමිවරුන් ය. පොලීසියට ද කුඩා සාමණේර හිමිවරුන්ට එරෙහිව කිසිවක් කළ නොහැකි විය. රටක දරුවන් යනු වැඩිහිිටියන් විසින් රැුකිය යුතු මල් කැකුළුය. එහෙත් මේ වැඩිහිටි සංඝයා වහන්සේලා විසින් තම දුෂ්ට දේශපාලන අරමුණු දියත් කිරීමට යොදා ගත්තේ කුඩා සාමණේරයන් වහන්සේලා ය. ළමා අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීමට සාමණේර හිමිවරුන් අයත් නොවන්නේ ද?
සංක‍්‍රමණික සේවිකාවන්ගේ ප‍්‍රශ්නයට ද උන්වහන්සේලා මැදිහත් වන්නේ අන්තවාදී දේශපාලන/ආගම් ගැටුම් නිර්මාණය කරමිනි. මැද පෙරදිග අයත් වන්නේ මුසොල්මානුවන්ට වන හෙයින් මැද පෙරදිග සේවිකා ගැටළුවේ දී පවතින්නේ දේශපාලන මුහුණුවරකි. සංක‍්‍රමණික සේවිකාවන් නිසා රජය ලබන විදේශ විනිමය ප‍්‍රමාණය ඉතා ඉහළ ප‍්‍රතිශතයක පවතී. ඉදින් ඔවුන් මැද පෙරදිග නොයන්නේ නම් එය පහළ බසිනු ඇත. එමෙන්ම ස්ති‍්‍රයකට ස්වාධීනව තම අයිතිීන් භුක්ති විඳීමට ඇති අයිතියට එරෙහි වෙමින් සිදු කරන මෙම අන්තවාදී කි‍්‍රයා නිසා අනෙක් අතින් ලෝකය ඉදිරියේ මේ රට නින්දාවට පත් කරයි.

භික්‍ෂු වැඩවලට පොලීසියකුත්

මෙම බෞද්ධ මූලධර්මවාදී/අන්තවාදී කණ්ඩායම් නිසා ආගමික පොලීසියක් ස්ථාපිත කිරීමට රජයට සිදුවීම එක් අතකින් හාස්‍යයට හේතුවකි. එසේ වී ඇත්තේ අවිහිංසාව අරමුණු කරගත් බෞද්ධාගම, ඇදහිල්ලක් කරගත් නිසාය. නමුත් සිදුවන අමන කි‍්‍රයාකාරකම් මැඩ පවත්වා ගැනීමට හෝ නුදුටුවා සේ සිටීමට වෙන ම ආයතන ඇති කළ යුතුය. එහෙත් රාවණා බලය මෙම විශේෂ පොලිස් ඒකකයට විරුද්ධ වෙමින් කොට්ටා පැදුරු උස්සාගෙන කාර්යාල පරිශ‍්‍රයට පැමිණියේ තම ඉල්ලීම ඉටුවන තුරු පැදුරු එලාගෙන එහි රැුඳී සිටින බව පවසමිනි. මේ අන්තවාදී කණ්ඩායම්වල බහු රූ කෝලම් හා ප‍්‍රචණ්ඩ හැසිරීම් දකින සැබෑ බෞද්ධයන් නම් මෙවැනි සංඝයාගේ සුළඟක්වත් වදින්නට කැමති නොවනු ඇත.

එඞ්නා මල්කාන්ති

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s