බුද්ධ කාලයේ ස්තී‍්‍රත්වය ප‍්‍රතිනිර්මාණය කෙරෙන

මුඛ පරම්පරාගතව පැමිණි, බුදුන්ගේ ධර්මය හා එයට අදාල අනෙකුත් සියලූ ආගමික, ඓතිහාසික හා සංස්කෘතික තොරතුරු ග‍්‍රන්ථාරූඩ වූයේ, සංඝායනාවලින් ශුද්ධ කර ගත් නැතහොත් අඩු වැඩි කර ගත් පසුව බව තර්කානුකූලය. අනෙකුත් සියලූ ඉතිහාස පුරාවෘත්ත ග‍්‍රන්ථාරූඩ වන්නේ ද එම පිළිවෙලට මය. බුද්ධ කාලයේ තෙරණියන් (ථෙරණියන්) විසින් ප‍්‍රකාශ කළ බව කියැවෙන උදාන වාක්‍යය ඇතුළත් තේරි ගී ඛුද්ධක නිකායට ඇතුළත්ව ග‍්‍රන්ථාරූඩ වන්නේ එවන් ගමනකින් පසුවය. එවන් දීර්ඝ ගමනක අඩු වැඩි වීම්, ඒවා මුඛ පරම්පරාවෙන් ගෙන ආ අයගේ ආකල්ප විකල්පවල බලපෑම් සියල්ල මැද්දේ වුව තේරි ගීවලින් ප‍්‍රතිනිර්මාණය වන සමාජ සංස්කෘතික ඉතිහාසය තුළින් බුද්ධ ශාසනය තුළ භික්‍ෂුණියන්ට විමුක්තිය ලැබුණු ආකාරය මෙන්ම සමාජය තුළ ස්තී‍්‍රන් විඳි අනේකවිධ දුක් පීඩා ද මනාව පිළිබිඹු වේ.

තෙරණියන් 73 දෙනෙකුගේ ගාථා 527ක් තේරී ගීවලට ඇතුළත් බව සඳහන් වේ. තේරි ගීවලින් ප‍්‍රකාශිත නිර්ව්‍යාජත්වය, ඒවා ප‍්‍රකාශ කළ බව කියැවෙන තෙරණියන්ගේ බුද්ධිමත්භාවය මෙන්ම ඒවා තුළින් ප‍්‍රකට වන කවිත්වය ආදී කෝණවලින් තේරී ගී විමසුමට ලක් වී ඇත. නමුත් ඒවා තුළින් හෙළිවන සමකාලීන ස්තී‍්‍රන්ගේ යථාර්ථය ගැන සාකච්ඡුා කෙරී ඇත්තේ අඩුවෙනි. බුද්ධ කාලයේ භික්‍ෂුණී ශාසනයට ඇතුළත්ව අර්හත් මාර්ගයට පැමිණ විමුක්තිය සොයා ගත් තෙරණියන් එම ලබා ගත් විමුක්තිය පිළිබඳ සැනසුම් සුසුමක් හෙලන ආකාරය තේරී ගීවලින් ප‍්‍රකාශ වන බව සැබෑවකි. එහෙත් එම උදාන ගීවලින් බොහොමයක් ප‍්‍රතිනිර්මාණය කරන්නේ තමන් ගෙවූ ගෘහ දිවියේ කටුකත්වයෙන් මිදීමේ සතුටය. ඒ අව්‍යාජ සතුට සමඟ සිහි කරන ගෘහ ජීවිතයේ කටුකත්වය හරහා සමකාලීන ස්තී‍්‍රන් සමාජය හා පවුල තුළ විඳි ගැහැට අනාවරණය වේ. සැපවත් ජීවිත ගත කළ පන්තියේ ස්තී‍්‍රන්ට හා දිළිඳු ජීවිත ගත කළ පන්තියේ ස්තී‍්‍රන්ට ගෙවන්නට සිදු වූ ජීවිතවල වෙනස්කම් ද ඒවායින් පිළිබිඹු වේ. ස්තී‍්‍රන් වීම නිසා සියල්ලන්ට ම විඳින්නට සිදු වූ සමාන වෙනස්කම් ද සලකා බැලිය හැකිය.

සුමුත්තා සාධු මුත්තාම්හි
තීහි බුජ්ජේහි මුත්තියා
උදුක්ඛලේන මුසලේන
පතිනා බුජ්ජකේන ච
මුත්තාම්හි ජාති මරණා
භවනෙත්ති සමූහතාහී

‘‘මනාව මිදුනෙමි වෙමි. මොනවට මිදුනෙමි වෙමි. වංගෙඩියෙන් ද, මෝල ගහෙන් ද, කුදු සැමියාගෙන් ද යන තුන් කුදයෙන් ම මිදුනෙම් වෙමි. උත්පත්තියෙන් හා මරණයෙන් ද මිදුනෙම් වෙමි. සසර උපතට හේතු වන්නා වූ භව තන්හාවෙන් ද මිදුනෙම් වෙමි.’’

කෝසල ජනපදයේ අගහිඟකමින් පිරුණු පැරණි බමුණු ගෙදරක ඉපදුණු මුත්තාගේ පවුල තුළ ජීවිතය මනාව පිළිබිඹු වන ඉහත ගීය ගයන ලද්දේ භික්‍ෂුණී ශාසනයට ඇතුළත්ව අර්හත්භාවය ලබා ගැනීමෙන් පසුවය. අග හිඟකමින් පිරුණු මුත්තා විවාහ කර දී ඇත්තේ එවැනි ම දිළිඳු පවුලක විරූපී කුදු මිනිසෙකුට ය. දිවි නසා ගන්නට සිතෙන තරමේ කොන්දේ වේදනාව දරා ගනිමින් ඇයට කුදු සැමියා ඇතුලූ ඔහුගේ පවුල ජීවත් කරවන්න වී කොටන්නට සිදු වී ඇත. පසුව මහණ වී ගිහිගේ විඳි දුක ම අරමුණු කොට බවුන් වඩා අර්හත්භාවයට පත් වූ මුත්තා තෙරණිය එම දුකින් මිඳීමේ සතුට ප‍්‍රකාශ කොට ඇත්තේ එලෙසය.

සුමංගල මාතා තෙරණියගේ උදාන ගීය හරහා ද පිළිබිඹු වන්නේ දිළිඳු පවුල තුළ ආර්ථික වශයෙන් මෙන්ම පිරිමියාගේ ලිංගික ගොදුරක්ව පීඩා විඳින ස්ති‍්‍රයගේ කතාන්දරයයි.

සමුත්තිකේ සමුත්තිකේ
සාධුමුත්තකම්හී මුසලස්ස
අහිරිකෝ මේ පතිතකං වාසි
උක්ඛලිකා මේ දෙඞ්ඩූහංවා‘ති
රාගඤ්ච අහං දෝසඤංච
චිට්චිට චිට්චිටීති විහනාමී
සා රුක්ඛමූලමූපගම්ම අහෝ සුඛන්ති සුඛතෝ ඣායාමි‘තී

‘‘මොනවට මිදුණු තැනැත්තිය, මොනවට මිදුණු තැනැත්තිය, මෝල් ගසින් මිදුනෙම් වෙමි. නිර්ලජ්ජිත සැමියාගෙන් මිදුනෙම් වෙමි. දියනයි ගඳ ගහන සැලියෙන් ද මිදුනෙමි. මම රාගය ද, ද්වේශය ද චිට් චිට් අනුකරණයෙන් යුතුව නැසීමි…’’

සුමංගල මාතා තෙරණිය ගිහි කළ දැඩි දුක් විඳි කෙනෙකි. අගහිඟකමින් පිරුණු ඇය කුලූපොත්තෙකුට විවාහ කර දෙයි. වැඩට ශූර මෙන්ම කාමාධික බැවින් යුත් ඔහුගෙන් රැුයක් දවාලක් නැතිව ඇය පීඩා වින්දාය. ඇයගේ පුත‍්‍රයා වූ සුමංගල සසුන්ගත විය. පසුව සසුන්ගත වූ ඇය ද ‘සුමංගල මාතා’ නමින් හඳුන්වා ඇත. ධ්‍යාන වඩා අර්හත්භාවයට පත් වූ ඇය ඇගේ සැමියා බට පොතු කපා තලන චිට් චිට් හඬ ද සිහි කරමින් සිය උදාන වාක්‍යය ප‍්‍රකාශ කොට ඇත. සැමියාගේ කාමයට බට පොත්තක් මෙන් චිටි චිටියේ තැලූණු ඇයට නිදහස සොයා ගත හැකි වූයේ භික්‍ෂුණී ශාසනයට ඇතුළත් වීමෙන් පසුවය. පවුලක හැලිවලං සමඟ පොර බැදීම, සැමියාට අවශ්‍ය පරිදි කාමයෙහි හැසිරීම, කොටා පොලා කෑම සරි කිරීම, දූ දරුවන් ඇති දැඩි කිරීම ආදී කුදු මහත් බර අදින්නට එකල දිළිඳු පවුල්වල ස්තී‍්‍රන්ට සිදු වූ බව මුත්තා තෙරණිය හා සුමංගල මාතා තේරී ගීවලින් පැහැදිලි වේ.

එකල සමාජයේ දිළිඳු ස්තී‍්‍රන්ට එවැනි ම හෝ එයටත් අන්ත දිළිඳු පුරුෂයන් සමඟ විවාහ වන්නට සිදු වූ බවත්, එම පුරුෂයාගේ නිවසේ ඔහුගේ දෙමාපිය වැඩිහිටියන්ගේ ආවතේව කරන්නට සිදු වූ බවත් වෙනත් තේරි ගීවලින් ද ප‍්‍රකාශ වේ.

ව්‍යභිචාරය පිළිකුල් කළ සමාජයක්

සමකාලීන සමාජයේ දරුවකු නොමැති ස්ති‍්‍රයකට සැමියාගේ පවුල තුළ පැවැත්මක් නොතිබූ බවට එක් උදාහරණයක් කිසා ගෝතමී තෙරණියගේ උදාන ගී ඔස්සේ ප‍්‍රකාශ වෙයි. කිසා ගෝතමියට ඇති වූ දරු ගැබ් කිහිපයක් නැති වීම නිසා ඇය එම පවුල තුළ පීඩාවට, ගර්හාවට පත් වී සිටි ආකාරය එම කතා පුවතින් පැහැදිලි වෙයි. අවසානයේ බිහි වූ දරුවා අඩු වයසින් මිය ගිය විට ඇයට එය දරා ගන්නට නොහැකිව උන්මත්තක විය. මළ දරුවා කර පින්නා ගෙන බෙහෙත් සොයා ඇවිදිමින් ගිය ඇයට බුදුන් වහන්සේගේ මුණ ගැසීම නිසා යථා අවබෝධය ලබා පැවිදිව අර්හත්භාවයට පත්වන්නට හැකි විය. පවුල තුළ ඇය වින්ද දුකින් නිදහස් වීම පිළිබඳ උදානය ඇගේ ගීවලින් ප‍්‍රකාශිතය. එමෙන්ම උප්පලවන්නා (උප්පලවණ්ණා) තෙරණියගේ උදාන ගී හරහා පුතාගේ බිරිඳ සම්බන්ධයෙන් ඔහුගේ දෙමාපිය වැඩිහිටියන් කි‍්‍රයා කරන අවිචාරවත් ආකාරය ද පැහැදිලි කරයි. ගංගාතීරිය නම් තෙර නමකගේ මවකට සිදු වූ සිදුවීමක් ලෙස උප්පලවන්නා තෙරණියගේ උදාන ගීවලට එම සිදු වීම ඇතුළත්ව ඇත.

එම කතාවට අනුව පවුල තුළ බිරිඳකට සිදු වන ගැහැට මෙන්ම ව්‍යභිචාරය සම්බන්ධ කතිකාවකට ද මං පාදයි. තම පුතා වෙළෙඳාම සඳහා දුර ගමනක් ගොස් සිටියදී ගැබ් ගෙන ඇති පුතාගේ බිරිඳ අනාචාරයේ හැසිරුණායැයි සැක කර ඇයට හිරිහැර කරයි. සැමියා පිටව යන්නේ බිරිඳ ගැබ්ගත් බව නොදැනය. සැමියාගේ මව සිතන්නේ පුතා නැති තැන ලේලිය අනාචාරයේ හැසිරෙන්නට ඇත කියාය. කෙසේ හෝ සැමියාගේ පවුලේ අය ගැබ මෝරමින් සිටි ඇයව ගෙයින් පළවා හරියි. සැමියා සොයමින් යන ඇය අතර මඟ දී පිරිමි දරුවකු ලබයි. දරුවා පාර අයිනේ තබා ශරීර කෘත්‍යය සඳහා එපිටට ඇය ගිය අවස්ථාවේ අසලින් ගිය ගැල්කරුවෙක් දරුවා දැක රැුගෙන ගොස් පුතෙකු මෙන් හදා ගනී. දරුවා ද අහිමිව ඇවිදිමින් යන ඇය සොරකුගේ බිරිඳ බවට පත් වෙයි. සොරාට දාව ඇය දියණියක් ලබයි. සොරා සමඟ ඇති වන දබරයක් නිසා ඇය දියණිය ඇඳට අත හරී. එයින් දියණියගේ ඔලූව පැලී ලේ ගලන නිසා බිය වූ ඇය පළා යයි. පලා ගොස් වසර කිහිපයක් ඉබාගතේ ඇවිද යන තවමත් රූමත් ඇය දකින තරුණයෙක් ඇයව අඹුකමට තබා ගනී. පසුව ඔහු තවත් තරුණියක් ද විවාහ කොට ගනී. මෙම තරුණියගේ හිස පීරමින් සිටින වැඩිහිටි අඹුව ඇයගේ හිසේ තුවාල කැලල දැක කරුණු විමසා ඒ ඇයගේ ම දියණිය බව දැනගනී. මෙහි දී මවත් දුවත් දෙදෙනා ම එක ම පිරිමියෙකුට බිරිඳ වූ බව ද, ඒ පිරිමියා ගැල්කරුවා රැුගෙන ගිය තමාගේ ම පුත‍්‍රයා බව ද දැන ගනී. ඔවුන් තිදෙනා ම මෙයින් කළකිරී මහණ වූ බවත් සඳහන් වේ. ගංගාතීරිය නමින් හඳුන්වා ඇත්තේ නොදැන මව සහ සහෝදරිය අඹුකමට ගෙන පසුව මහණ වූ තරුණයා බව මේ අනුව ගලපා ගත හැකිය.

කෙසේ වෙතත් මෙම කතා පුවත ගොතා ඇති ආකාරය අනුව, ව්‍යභිචාරය සිදු වී ඇත්තේ දැනුවත්ව නොවන බවත් එදා සමාජය තුළ ව්‍යභිචාරය පිළිකෙව් කළ එකක් බවත් ගම්‍යමාන වේ. එමෙන්ම මෙම කතාව හරහා පිරිමින් සඳහා බහු භාර්යා සේවනය සහිත පවුල් ඒකක පැවැති බව පැහැදිලි වේ. එයට ගැරහීමක් තිබුණු බවක් ප‍්‍රකාශ නොවේ. සමාජ පිළිගැනීමක් සහ බලයක් ද සහිතව ගණිකා වෘත්තියේ යෙදුණු කාන්තාවන් හැරුණු කොට බහු පුරුෂයන් සමඟ සම්මත පවුල් ජීවිත ගත කළ කාන්තාවන් සිටි බවක් මෙම තේරි ගී ආශ‍්‍රයෙන් අනාවරණය නොවේ. අනාචාරයේ හැසිරුණ බවට සැක කර ගැබිණි ලේලියව ගෙයින් පළවා හැරීමේ කතා පුවත ඔස්සේ ස්තී‍්‍රන් විෂයයෙහි බහු පුරුෂ සේවය ගර්හාවට ලක් කළ එකක් වූ බව පිළිගන්වන්නට සලස්වා ඇති බවක් පෙනේ. නමුත් පිරිමින්ට ප‍්‍රසිද්ධියේ ගණිකා සේවනය පැවැත ඇත.

ස්තී‍්‍ර දූෂණය පැවැති බවත්, එය නින්දිත අපරාධයක් සේ සැලකූ අකාරයත් පැහැදිලි කරන කතා කිහිපයක් ම වෙයි. සුභා තෙරණියගේ කතාවෙන් ස්ත‍්‍රී දූෂකයාට අවස්ථාව නොදී යථාව අවබෝධ කර දීමෙන් ඔහු දුර්මුඛ කරයි. උප්පලවන්නා කතාවේ දී රහත් තෙරණියක් වූ ඇය ඥාතියකු වන නන්ද විසින් දූෂණය කර ඇති අතර ඔහු එවේලේ ම පොළොව පළා අපාගත වූ බව සඳහන් වේ. ස්තී‍්‍ර දූෂණය දැඩි සේ පිළිකෙව් කළ ආකාරය එයින් පැහැදිලි වේ.

සම්මතයට එරෙහි වුවොත් ග‍්‍රන්ථාරූඩ කිරීමට පෙර මුඛ පරම්පරාගත ඉතිහාසය සංගායනා කිරීම්වල දී සිදු කළ සංස්කරණයන් හෝ පැවැත එ්මේදී සිදු වූ අඩු වැඩි කිරීම්, මඟ හැරීම් කෙසේ වෙතත් ඉතිරිව ඇති මෙම තේරි ගී බුද්ධ කාලයේ තෙරණියන්ගේ ප‍්‍රකාශ ලෙස ගතහොත් එකල ද සම්මතයට එරෙහිව යන ස්තී‍්‍රන්ට පැවැත්මක් නැති බව ප‍්‍රකාශ කරන්නට උත්සාහ ගෙන ඇත. එය හඳුනා ගන්නට සලස්වා ඇත්තේ ඔවුන්ගේ ජීවිත කතාව ඔස්සේය. ප‍්‍රසිද්ධ පටාචාරා පුවතට අනුව, සිටු ගෙයක කුමරියක් සේවකයකු සමඟ පලා යෑම පිළිගත් ක‍්‍රමය නොවන බැවින් ඇයව සියලූ දෙනා අහිමි වන දුක් ගොඩකට හෙළා ඇත. සැමියා, දරුවන්, දෙමාපියන් සහ සහෝදරයා යන සියල්ල මෙන්ම සිටු ගෙය ද විනාශ කොට ඇත. සිටු ගෙයක කුමරියක් වූ භද්‍රා කුණ්ඩලකේශී මරණයට ගෙන යන සොරකුට පෙම් බැන්ද විපාකය නිසා විපතට පත් වූවෙකි. ආවාහ විවාහ අනුමත වී ඇත්තේ බොහෝ දුරට සමාන කුලයන් හා තත්ත්වයන් සහිත පවුල් සමඟය. සොරකුට පෙම් බැඳ මිය යන්නට සූදානම් වූ දියණිය බේරා ගන්නට දෙමාපියන් උපක‍්‍රමශීලීව සොරා බේරා ගත්ත ද එම අසම්මත කි‍්‍රියාව නිසා ස්ති‍්‍රයට සුගතියක් අත් නොවන බව කතාවෙන් පෙන්නා දී ඇත. සොරාට අවශ්‍ය මැදුරකට සීමා වී ජීවත් වන්නට නොව ඔහුගේ නිදහස් ජීවිතය කරා යන්නටය. පුරුෂයාට නිදහස් ජීවිතයක් උරුමය. එහෙත් ස්ති‍්‍රයට එවන් නිදහස් ජීවිතයක් හිමි බව කියන්නට කතා කරුවන් කැමැති වී නැත. කෙසේ වුවත් අසම්මත කි‍්‍රයාව නිසා සොරා අතින් මරණය නියම වූ භද්‍රා සිය බුද්ධිය නිසා සොරා මරා ජීවිතය රැුක ගනී. සිදුවීමෙන් කළකිරී ජෛනයන් ළඟ මහණව පසුව මුගලන් හිමි සමඟ වාද කොට භික්‍ෂුණී ශාසනයට ඇතුල්ව ලබා ගත් විමුක්තිය භද්‍රා කුණ්ඩලකේශී තේරි ගීවලින් ප‍්‍රකාශිතය.

පවුල තුළ දුගීභාවය නිසා වින්ද දුකෙන් නිදහස් වීමට, සැමියාගේ තාඩන පීඩනවලින් නිදහස් වීමට, දරුවන් අහිමි වීමෙන් ඇති වූ දුකෙන් නිදහස් වීමට මෙන්ම දරුවන් නොසැලකීම නිසා පත් වූ විපතෙන් ගැලවීමට කිසිවකුට වෙනස්කමක් නැති බුද්ධ ධර්මයේ පිහිට පැතූ හා ලැබූ අය ද තේරී ගී ඔස්සේ හඳුනා ගත හැකිය. ජීවත් වන්නට ක‍්‍රමයක් නොතිබූ, උන්මත්තකව සිටි, සිඟා කමින් සිටි ස්තී‍්‍රන් ද භික්‍ෂුණී ශාසනයට ඇතුළත්ව බවුන් වඩා අර්හත්භාවයට පත් වූ ආකාරය තේරී ගීවලින් පැහැදිලි වේ. දිළිඳුකම, අගතිගාමී ආකල්ප හා ස්ති‍්‍රයට නියම කර ඇති භූමිකාවන් නිසා ස්තී‍්‍රන් පීඩා විඳි ආකාරය ඒවායින් අනාවරණය වේ. බුද්ධ ධර්මය ගැන අසා දැන පැහැදී විමුක්තිය ලබා ගැනීම සඳහා භික්‍ෂුණීභාවය ලබා ගැනීමට යොමු වූ ස්තී‍්‍රන් ද විශාල බහුතරයක් සිටි බව ද තේරි ගී ඇසුරින් හඳුනා ගත හැකිය. බුද්ධ ධර්මය ගැන අසා පැහැදුණු ඉහළ පවුල්වල මෙන්ම පහළ පවුල්වල බුද්ධිමත් ස්තී‍්‍රන්ගේ උදාන ගී ද උදාහරණ වශයෙන් ඇත.

නොතකා හැරිය නොහැකි වූ බුද්ධිය පුණ්ණා තෙරණියගේ උදාන ගී ඉතා බුද්ධිමත් ස්තී‍්‍රන් සෑම තරාතිරමක ම සිටි බවට උදාහරණයකි. බුද්ධ කාලය උදාවන්නේ ස්තී‍්‍රන් ඉතාමත් අවතක්සේරුවට ලක්කල බ‍්‍රාහ්මණ මතවාද ප‍්‍රචලිතව තිබියදීය. ශ්ලෝක කියන්නටවත් අවසර නොතිබූ බව කියන යුගයක් අවසන් කරමින්ය. එවන් වාතාවරණයක් යටතේ බුදුන්ගේ පහළ වීම හා ධර්මය ප‍්‍රචලිත වූ කෙටි කලකින් අවිචාරවත් බමුණන් පවා දමනය කළ ස්තී‍්‍ර බුද්ධිමතුන් හඳුනාගත් ආකාරය තේරි ගීවලින් ප‍්‍රකාශ වීම වැදගත්ය. එවැනි තෙරණියන් ගැන කතා කිහිපයක් ම වන අතර පුණ්ණා තෙරණියගේ කතාව විචාරවත් ස්තී‍්‍ර බුද්ධියකට සාක්‍ෂි සපයයි. අනෙක් අතින් ඇය අනේපිඩු සිටානන්ගේ දාසියකි. ඇයගේ උදාන ගීවලින් අව්, වැසි සීත නොබලා දිවා රාති‍්‍රයේ ගෙඟන් දිය අදින්නට සිදු වූ ආකාරය කියැවෙයි. දිනක් පාන්දර ඇය ගඟට දිය ගෙන එන්නට යන විට සීතලේ ගැහෙමින් දිය නා මන්ත‍්‍ර ජප කරන බමුණකු දැක කුමක් කරන්නේදැයි අසයි.

පුන්‍ය තීර්තයෙන් බැස මන්ත‍්‍ර කියා නාගත් විට සියලූ පව් සේදෙන බව බමුණා කියයි.
”එසේනම් සියලූ මැඩියෝ ද, කැසබුවෝ ද, දියනයි ද, කිඹුලෝ ද, සෙසු සියලූ ජලචරයෝ ද ස්වර්ගයට යෙති‘යි කවර සැකයෙක්ද? වැලි එකෙක් ඇත.

අජ ඝාතකයෝ ද, ගව ඝාතකයෝ ද, හුරු වැද්දෝ ද, මුව වැද්දෝ ද, මාළු මරන්නෝ ද, අලූගෝසුවෝ ද, පල් හොරු ද ශුද්ධ වූ පුන්‍ය තීර්තයෙන් බැස හෙව නෑ කල, කළ පව් සේදී ස්වර්ගයට යන්නේය. පින්වත් බ‍්‍රාහ්මණයාණෙනි, පව් සෝදන
ගඟ දිය ම ඔබ කළ පින් ද සෝදා හරියි.
එසේ වුව, ඔබේ පිනින් ඔබ බැහැර යෙහි”
ඇය දාසියකු වුව ද මේ වන විට අනේපිඩු සිටානන්ගේ නිවසේ දී බුදුන් වහන්සේ දෙසූ සීහනාද සූත‍්‍රය අසා සෝවාන්ව සිටි කෙනෙකුයැයි සඳහන්ය. මෙයින් පෙනී යන්නේ කොතරම් අවවරප‍්‍රසාදිත යුගයක් ගෙවා තිබුණ ද යමක් තේරුම් ගැනීමේ විචාර බුද්ධිය සහිත ස්තී‍්‍රන්ගෙන් සමාජයේ අඩුවක් නොවුණු බවයි. ඇයගේ තර්කය තේරුම් ගත් බමුණා බුදුන් සරණ ගිය බව ද ඒ ඇසූ අනේපිඬු සිටානෝ පුණ්ණා දාසභාවයෙන් නිදහස් කළ බව ද සඳහන්ය. භික්‍ෂුණී ශාසනයට ඇතුළත්ව අර්හත්භාවය ලබාගත් පුණ්ණා තෙරණිය එම සිදුවීම ද සිහි කරමින් තමා ලබාගත් විමුක්තිය ගැන උදාන ගී ගයා ඇත.

බුද්ධිය ඇත්නම් ගිහිගේ සිට වුව මාර්ග ඵල ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳ උදාහරණ කතා තවත් ඇති අතර ස්තී‍්‍රන්ට තමාගේ අධ්‍යාත්මික විමුක්තිය සොයා යෑමට අවසර ගැනීමට සිදු වූ බව ද හෙළිදරව් වේ. දාසභාවයෙන් නිදහස් කිරීම පුණ්ණාට තමා කැමැත්ත කිරීමට අවසරයක් විය. විවාහක ස්තී‍්‍රන්ට සැමියාගේ අවසර ගත යුතු විය. සමහරුන් භික්‍ෂුණීන් කරා ගෙන ගොස් ඇත්තේ සැමියන් විසිනි. ධර්ම දැනීම අතින් බිරිඳ පිරිපුන් බව වටහා ගැනීම ද හේතුවක් වූ බව පෙනේ. අවසර නොලැබෙන ස්ත‍්‍රීන්ට ගේ දොර කටයුතු අස්සේ ම ධර්මය මෙනෙහි කරමින් සිටින්නට සිදු වී ඇත. සැමියා මිය ගිය හෝ හැර ගිය පසු දරුවන් සිටිය ද ඔවුන් ඥාතීන්ට භාර දී ගිහි ගේ හැර යන්නට බාධාවක් වී ඇති බවක් නොපෙනේ. තරුණියන්ට දෙමාපිය අවසර ලබා ගත යුතු විය. විවාහ වන්නට සූදානම් වූ තරුණයා විවාහයට පෙර මිය යෑම ද ස්ති‍්‍රයකට වෙනස් කොට සැලකීමට හේතුවක්ව තිබූ බව අභිරූපනන්දා තේරණියගේ කතාවෙන් පැහැදිලි වේ. ගිවිසගත් තරුණයා මිය ගිය පසු දෙමාපියන් ඇයව මහණ කොට ඇත්තේ ඇයගේ අකැමැත්තෙනි. පසුව ඇය ධර්මය කෙරේ පැහැදී අර්හත්භාවයට පත් වූ බව සඳහන්ය.

පුරුෂයින්ට ගිහි ගේ හැර යෑමේදී එවැනි කැමැත්තක් ලබා ගැනීමට අවශ්‍ය වූ බවක් නොපෙනේ. පුරුෂයා මහණ වීම නිසා පසුව මහණ වූ ස්තී‍්‍රන්ගේ කතාවලින් මෙන්ම චාපා තෙරණියගේ කතාවෙන් ද ඒ බව පැහැදිලි වේ. උපක නම් ආජීවකයා සමඟ අකැමැත්තෙන් විවාහ වන්නට සිදු වූ ඇය, ඔහුට අපහාස උපහාස කළ ආකාරය ද චාපා තෙරණි ගීවලින් පෙනේ. නමුත් ඔහු ඇය දමා නැවත මහණ වන්නට යන්නට උත්සාහ කරන විට ඇය බලවත් සේ විරුද්ධ වෙයි. ගියොත් ඔහුගේ දරුවා කපා කොටා දමන බවට ද තර්ජනය කරයි. එහෙත් ඒ කිසිවක් නොතකා ඔහුට යන්නට හැකිය. අවසානයේ චාපා දරුවා ඥාතීන්ට භාර කොට මහණ වෙයි. පිරිමින්ගේ අකමැත්තෙන් ස්ති‍්‍රයට ගිහිගේ හැර යන්නට ස්වාධීන ශක්තියක් ලැබී තිබුණ බවක් තේරි ගීවලින් දකින්නට නැතත් පුරුෂයන්ට ඒ අයිතිය ලබා දී ඇත.

මුලිනුත් සඳහන් කළ ආකාරයට සංගායනාවලින් පසු ග‍්‍රන්ථාරූඩ කෙරෙන යුගවල සංස්කරණයන් සිදු වුවත් නැතත් තේරී ගීවලින් පැහැදිලි වන්නේ, බුද්ධ කාලයේ ස්තී‍්‍රන් තම ගෘහ ජීවිතය තුළ විඳි අනේකවිධ දුක්ඛ දෝමනස්සයන්ගෙන් මිඳීම සඳහා විමුක්ති මාර්ගයන් සෙවූ බවයි. සමාජයේ අනෙකුත් අය භුක්ති විඳි වරප‍්‍රසාදයන් භුක්ති විඳින්නට තමන්ටත් ඇති අවශ්‍යතාව හා හැකියාව වෙනුවෙන් කැප වූ බවයි. එමෙන්ම ඒ සඳහා අවශ්‍ය කැපවීම්, ධෛර්ය හා බුද්ධිය ඔවුන් මෙහෙයවා ඇති බවයි.
සටහන සහ ඡුායාරූප
සීතා රංජනී
(ඡුායාරූප – මාදිවෙල මෙහෙණි ආරාමයේ බුදු මැදුරේ බිතු සිතුවම් වලිනි.)

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s