වත්මන් භාවිතය තුළ ආගම්වලින් ඇයට රැකවරණයක් තිබේ ද?

සියලූ ආගම් ශාස්තෘවරයන්ගේ ඉගැන්වීම වූයේ අහිංසාවයි. සියලූ සත්වයෝ සුවපත් වේවා! ඔබේ අසල්වැසියන්ට පේ‍්‍රම කරන්න…..! ඊශ්වර මැවුම්කරුවානන්ගේ පිහිටයි……! අල්ලා දෙවිදුන්ගේ පිහිටයි…..! මේ සියලූ ආශිර්වාද ඇතුළේ ගැහැණිය ද වක ගසා ගෙන සිටින්නීය.

ආගම් ශාස්තෘවරුන් විසින් තමන්ගේ අත් අකුරින් හෝ තමන් දේශනා කරන විට, අකුරු ගලපා ලියා ගන්නා ලියන්නන් හෝ මගින් තම දේශනා ලියා තැබූ බවට සාක්‍ෂි නැත. එම ශාස්තෘවරුන්ගේ අනුගාමිකයන් විසින් පසු කාලීනව ලියා තබා වසර දහස් ගණන් දිගට පවත්වා ගෙන යන ආගමික දේශන, වත් පිළිවෙත් හා විවිධ දර්ශනවාදයන් ඇතුළේ ගැහැණියගේ තැන සෙවීම, අබ ඇට සේරුවකට කලවම් කළ, සුණු සහල් අහුරක් සොයන්නා වැනි කාරියකි. එහෙත් ඒ සුණු සහල් අහුර අප සොයා යා යුතුය.

‘‘අනේ අපට සමාවෙලා …. වේදනාව ගැන කියා දෙන්න ………’’

කුස තුළට පිවිසි බීජය ඇයට කෑම අරුචිය ඇති කරයි. ක්ලාන්ත ගතිය ඇති කරයි. වමනය, ඕක්කාරය ඇති කරයි. බීජය සෙමෙන් වැඩෙයි. දින එක සියය ළං වෙත්ම කුසෙහි ජීවියෙක් සිටිනා බැවින් හොඳින් කා බී, වෙහෙස වී වැඩ කළ යුතුය. හොඳින් කන්නේ බොන්නේ කුස තුළ හිඳින තමා නොදුටු, තමා නොහඳුනනා ජීවියා වෙනුවෙනි. වෙහෙස වී වැඩ කළ යුත්තේ ඒ ජීවියා, බීජයක් ලෙසින් කුස ඇතුළට ආ ලෙසින් ම, අත් පා හිස කඳ සහිතව එළියට ඇරලවීම සඳහා පහසුවක් ඇති කරන්නටය. වේදනාව වේදනාව විසින් ම ජීවත් කරවයි.

මේ ස්වභාවිකව ගැහැණියට ලබා දී ඇති කටුක අත්දැකීමයි.
”මිනිසුන් දමන ඇදුරිඳු
දුකයයි කීහ ඉතිරි අත් බව
අඹුවන් කිහිප දෙනෙකු ඇති
හිමියකුට අඹු වීම ද
දුකක් වෙයි හද රිද්දන.
වරක් දරුවන් වදා
ඒ දුක විඳිනු බැරි ගෑණු
සිඳ ගනිති තමන්ගේ ගෙල
සුකුමාරියෝ වස කති ……
මෝඩ ගැබ් ඇති කල
මව ද දරුවා ද යන දෙදෙනා
පීඩා විඳිති අපමණ………”

දරුවකු ලැබීමේ කටුක වේදනාවේ අත්දැකීම ගැන මේ කතා කරන්නේ, තම මළ දරුවා, මළ බව නොදැන ඔහු සුවපත් කරන්න, කිසිවෙකු නොමළ ගෙයකින් අබ මිටක් සොයා ගිය කිසා ගෝතමි යයි. බුදුන්ගේ මහා කරුණාවෙන් ඇය සෝවාන් පලයට, අනතුරුව රහත් පලයට පත් වූ වග බෞද්ධ ඉතිහාස කතාවල දැක්වෙයි.

බුද්ධ දේශනා අනුව

ගැහැණිය හිංසාවට පත් කිරීම පිළිබඳ විශේෂ වූ දේශනා හෝ සූත‍්‍ර, බෞද්ධයාට හමු නොවෙයි. එහෙත් බුදුන් වැඩ සිටි කල ද ගැහැණිය හිංසාවටත්, පීීඩාවටත් ලක්වූවාය. බුදුන් වහන්සේ කරණීය මෙත්ත සූත‍්‍රයේ දී, මවක තම එක ම පුතු මෛතී‍්‍ර හිතින් රකිනා ලෙසින් යනුවෙන් උපමාවක් ගෙනහැර පාති. මවකට සිටින්නේ එක ම එක පුතණු කෙනෙකුන් නම් ඇයට ඔහු ඉතා වටින්නේය. ඒ නිසා ම ඇය ඔහු රකින්නට වෙර වෑයම් කරයි. ඒ වෑයම ඇයට බරක් නොවේය. පීඩාවක් නොවේය….. ආදී වශයෙන් ජන සම්මතය විග‍්‍රහ කළත්, කිසා ගෝතමිය තම එක ම පුතු මළ සොවින් මහත් සේ කම්පාවට පත් වූ කල, බුදුන්වහන්සේ ඇය සොයා නොගිය සේක. ඇය උන්වහන්සේ සොයා ආවාය. ස්ති‍්‍රය නුවණ ඇත්තීය. පෙර පිං ඇත්තීය. උත්සාහවන්ත යයි පිළිගත්ත ද බුදු සසුනේ මහණදම් පිරීමට ඇයට අවසර දීමට බුදුන් වහන්සේ අදිමදි කළ බව අමතක කරන්නට නොහැකිය.

පටාචාරා වැනි සමාජ හේතූන් නිසා පීඩනයට පත් වූ ගැහැණු ද, කුණ්ඩල කේශී වැනි ආශාව නිසා ම විපතට පත්වන්නට ගොස් සිය නුවණින් දිවි ගලවා ගත් ගැහැණු ද බුදු සෙවන ලදහ. කාන්තා හිංසනයට නීති රීති ඇති කොට ඇයගේ අයිතිය ආරක්‍ෂා කර දීම නොව, විපතට හිරිහැරයට පත් තැනේ දී පිහිටවීමත්, පෙර දවස බමුණු සමාජය විසින් අටවා තිබූ තහංචි නොතකා ඇයට සමාජයේ යම් තත්ත්වයක් ලබා දීමටත්, සුදුසු තැන දී ඉදිරිපත් වීමෙන් නිහඬ විප්ලවයක් කළ බුදුන් වහන්සේ සියලූ සතුන් සුවපත් වේවා! යන පාඨය යටට ස්ති‍්‍රය ද කැඳවා ගත්හ. සියලූ සතුන් යනු පිරිමි සතුන් පමණක් නොවේ.

හිංදු සංකල්ප අනුව

හින්දු ආගමේ ඇති ති‍්‍රමූර්ති සංකල්පය තුළ දෙවියන් වහන්සේ පිළිබඳ විවිධ ලක්‍ෂණ පෙන්නුම් කෙරෙයි. දෙවියන් වහන්සේ තුළ ඇති මැවීමේ බලය එක් ලක්‍ෂණයකි. දෙවියන් තුළ මැවීමේ බලය මෙන්ම, විනාශ කිරීමේ බලය ද වෙයි. මැවීමත්, විනාශ කිරීමත්, අනතුරුව යළි සමාදාන වීම ද වෙයි. ති‍්‍රමුර්තියේ වඩා වැදගත් ස්ථානය හිමිවන්නේ යළි සමාදාන වීමේ ගැහැණු ස්වරූපයටයි. හින්¥න්, ගැහැණිය ලොවට ආශිර්වාදයක් ලෙසින් සලකන බව සනාථ කරන ලක්‍ෂණ තිබේ.

හරප්පා, මොහන්දෝජාරෝ ශිෂ්ඨාචාරයන්හි ස්ති‍්‍රය පවුලේ නායිකාව වූ බවත්, ඒ නිසා ම ඇය සමාජයේ උසස් තැනක් ලද බවත්, මාතෘ සංකල්පයට සමාජය ගරු කළ බවත් ඉන්දීය ඉතිහාසය පෙන්වා දෙයි. ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය බුද්ධ කාලයට වසර එක් දහස් පන්සියයක් තරම් පැරණිය. ‘‘ජගන් මාතා’’ වන්දනාව මූලික ආගමික වතාවතක් විය. ජගන් මාතා වන්දනාව, මාතෘත්වය, කන්‍යාභාවය සහ සශී‍්‍රකත්වය පදනම් කරගත් ආගමික වතාවතකි. ඒ අනුව ඈත අතීතයේ දී ස්තී‍්‍ර හිංසනය ආගමික පරිසරයක් තුළ කිසිසේත්ම අනුමත නොකෙරුණු බව පිළිගන්නට සිදුවෙයි. මන්ද ආගමික පිළිගැනීම් ස්ති‍්‍රය මුල් කර ගත්, ස්ති‍්‍රයට විශේෂ වරප‍්‍රසාද ලබා දුන්, ගෞරවය ලබාදුන් තත්ත්වයක් තුළ ස්තී‍්‍ර හිංසාවට එරෙහි ඉගැන්වීම්වලට වලංගුභාවයක් ඇත්තේ නැත. මේ යුගයේ ඊජිප්තුවේ යුසීස් දෙවඟන ද, ගී‍්‍රක ජාතිකයන් වීනස් දෙවඟන ද ඇදහීම කළ බවට සාධක ඇත.

බුද්ධ කාලය වන විට බමුණු සමාජය ගැහැණියගේ ආගමික නිදහස නැති කර ඇගේ ජීවිතය වහල්භාවයට පත් කර තිබුණි. එම හිංසාව නැති කිරීමට ඉගැන්වීම් කෙරුණේ බුද්ධ දර්ශනය තුළිනි. සති පූජාව වැනි දැඩි නීති පැන වූ බමුණු සමාජය, ගැහැණිය මහත් පීඩාකාරී වධ බන්ධනයකට සිර කර ඇත. බුද්ධ දර්ශනය නීති මාලාවකින් කොටු කරන ලද්දක් නොවේ. එහෙත් නිදහස් චින්තනයට ඉඩ ලබා දෙත්ම, ස්තී‍්‍රන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය කෙමෙන් සමාජයෙන් තුරන්වන්නට විය.

කිතුණු ඉතිහාසය අනුව

පරදාර සේවනයෙහි යෙදුණු ස්ත‍්‍රියකට ගල් ගසන්නට අත් එසවූවන්ට, පව් නොකළ කෙනෙකු මුල් ම ගල ගසාපල්ලා! යි කී ජේසු, ස්තී‍්‍රන්ට හිරිහැර නොකරපල්ලා යි නීති අණපනත් පැනවූයේ නැත. එහෙත් උන්වහන්සේගේ කි‍්‍රයා පිළිවෙතින් ස්තී‍්‍රන්ට වෙනස්කොට සැලකීම, හිංසාව සමාජයෙන් තුරන් කිරීමට ආදර්ශයක් දුන්හ.

ඒ ගැහැණිය ඉතා පහත් තැනැත්තියක් ලෙසටත්, අපිරිසිදු තැනැත්තියක් ලෙසටත් සැලකූ වකවානුවකි. ආගමික නායකයකු සමග එකට ගමන් කිරීම, කතා කිරීම ගැහැණියකට නොහොබී යයි සමාජය ස්ති‍්‍රය කොන් කරමින් ඇයට පීඩා ගෙන දෙද්දී, ඇය ඒ සමාජීය හිංසාවෙන් මුදවා ගන්නට ජේසු කි‍්‍රයා කළේය. දෙවියන් වහන්සේගේ රාජ්‍යය පිළිබඳ සුබ පණිවිඩය දේශනා කරමින් නගර හා ගම් හරහා ඇවිද යන ජේසු සමඟ නොයෙක් ලෙඩ රෝගවලින් සුවය ලත් ස්තී‍්‍රහු ද ජනයා වෙත ගියහ. මග්දලේනා, ජොවන්නා, සුසානා ආදීහු මේ අතර වූහ. සමාජය පිළිගත් නායකයන් විසින් පව්කාර ස්තී‍්‍රන් යයි කොන් කරනු ලැබූ ස්තී‍්‍රන් ජේසුගේ පිරිවර අතර විය. ස්ති‍්‍රය අගය කරන්නා, ස්ති‍්‍රය හිංසාවට ලක්කරනවාට විරුද්ධය. ජේසු තම දේශනා මගින් මේ කාරණය ගැන තම අනුගාමිකයන්ට නීතියක් රීතියක් ලෙස දේශනා නොකෙරුවාට ඔහුගේ ජීවන පැවැත්ම එය තහවුරු කළේය.

ඉස්ලාම් නියමයන් අනුව

මුස්ලිම් ස්තී‍්‍රන්ට පර්දාව හිරිහැරයක් බව ඔවුන් දෙස බලා සිටින අයගේ මතයයි. කාලය වෙනස් වී, සමාජය වෙනස් වී, ගැහැණිය ද පිරිමියා හා සමාන රැුකියාවන්, උගත්කම්, සමාජ තත්ත්වයන් ලබද්දී ඇයට පර්දාව හිරිහැරයක් වීම පුදුමයක් නොවේ. නිවසින් බැහැර යන විට, තම හිස ද පපු පෙදෙස ද වැසෙන ලෙස පර්දාව පැළැදිය යුතු බව මුස්ලිම් ස්තී‍්‍රන්ට නියමයක් කර තිබේ. ඒ නියමය අනුව, තම සැමියා හැර අන් පිරිමින්ට ස්ති‍්‍රයගේ රූප ශෝභාව දැකීම පවා තහනම්ය. ඒ තහංචිය ඇයගේ ආරක්‍ෂාව පිණිස බවයි පිළිගැනීම. ඇය වරදට පොළඹවා ගන්නට හෝ ඇය විසින් අන් පිරිමියකු වරදට පොළඹවා ගනු ලැබීමට හෝ ඉඩ නොතබා ඇගේ රූ සිරිය සඟවන්නට කළ නියමයක් සේ පෙනේ. සංවරයක් නැතිව ප‍්‍රසිද්ධ ස්ථානවල හැසිරීම පල්ලියෙන් දඬුවම් විඳින්නට සිදුවන වරදක් බව කියැවේ. මේ සංවරය යන වචනයට අර්ථකථන දීම තුළ මතුවන විවිධාකාර ගැටලූ රවුමක් කැරකී ඇවිත් වර්තමාන මුස්ලිම් ස්තී‍්‍රන්ගේ මානව අයිතීන්ට හරස් වන සැටි දැකිය හැකියි. මහ මග දී, පොදු වාහනයක දී, වෙළෙද පොළක දී මුස්ලිම් ස්ති‍්‍රය තමන්ට සිදුවන ඕනෑම ගැහැටක්, අසාධාරණයක් ඉවසා පර්දාවෙන් ආවරණය වී සිටීමයි මුස්ලිම් පුරුෂ පක්‍ෂය විසින් ඉල්ලා සිටින ආගමික වතාවත. සමාජ යුක්තිය සදාචාරය හා ආරක්‍ෂාව පිණිස ඇති කළ නියමයන් පුරුෂ පක්‍ෂය තමන්ගේ වාසිය සහ ගැහැණිය යටපත් කරමින් සමාජය පවත්වා ගෙන යෑමට පාවිච්චි කිරීම අල්ලා දෙවියන් ඉවසා සිටින්නේ ද?

නඩත්තු කිරීමට හැකිනම් එක් පුරුෂයෙකුට ස්තී‍්‍රන් හතරක් විවාහ ගරගත හැකි නිදහසක් තිබේ. ඔහුට කුරානය මිල දී ගත හැකියි. මේ අයිතිවාසිකම් දෙක ගැහැණියට නැත. මොහොමඩියානු පල්ලියකට ඇතුල්වීමට ගැහැණියට ඉඩ නැත. අවසර නැත. එහෙත් පල්ලිය ළඟ දොරටුවේ රැුඳී සිකුරාදා දිනවලට බත් පතකට සිඟමන් යදින්නට ඇයට අවසර තිබේ!

ආගම් ශාස්තෘවරුන්ගේ දෙසුම් ලෙස භාවිතයට ගැනෙන සමහර කරුණු ලෝක පැවැත්ම තුළ අභියෝගයට ලක්වන ආකාරයක් දක්නට ලැබෙයි. එහෙත් සැබැවින් ම මේ දෙසුම් එම ශාස්තෘවරුන් ගේ දේශනා ද නැතහොත් ඒ ඒ ආගම් අනුගාමිකයන්ගේ රුචි අරුචිකම් අනුව සැකසූ ඒවා ද යන ප‍්‍රශ්නය ප‍්‍රශ්නයක් ලෙස ම පවතියි. මන්ද මිනිසා ආගම ප‍්‍රශ්න කරන්නට බයය. ඒ බිය මිනිසාට කා වැදී ඇත්තේ ළදරු වියේ පටන්මය!

කරුණා පෙරේරා

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s