මූලධර්මවාදී වෛරයට ගොදුරුව ලෝක සම්මානිත ගැහැණු

“ජාති, ආගම්, ඇදහිලි හා සංස්කෘතීන් වශයෙන් ඔබ, ඔබව වෙන් කර ගන්නා විට එයින් නිර්මාණය වන්නේ හිංසනයයි. හිංසනය කුමක් දැයි නිවැරදිව වටහා ගන්නට තැත් කරන පුද්ගලයෙකු කිසිදු රටකට, ආගමකට, ජාතියකට, දේශපාලන පක්ෂයකට හෝ පාර්ශවයකට අයිති නොවේ. ඒ පුද්ගලයාගේ සම්පූර්ණ අවධානය යොමු වන්නේ මානව වර්ගයා වටහා ගැනීමටයි.’’ ඉන්දියානු ජාතික ජේ. ක‍්‍රිෂ්ණමූර්ති පැවසූ ඒ වදන්හි අදටත් කෙතරම් වලංගුභාවයක් පවතීද?

එම ප‍්‍රකාශයට අනුව ජාති, ආගම්, ඇදහිලි හා සංස්කෘතීන් වශයෙන් මානව සමාජයේ ඇති විවිධත්වය කෙනෙකු අන්තවාදී ලෙස අනෙකාට එරෙහිව යොදා ගන්නේ නම් හෝ ඉන් අනෙකාගෙන් වෙන් කර කොටු කර ගැනීමට යොදා ගන්නේ නම් එයින් නිර්මාණය වන්නේ හිංසනයයි. මුලධර්මවාදී හිංසනය කුමක් දැයි නිවැරදිව වටහා ගන්නෙකු තමන් කුමන රටකට, ආගමකට, ජාතියකට, දේශපාලන පක්ෂයකට අයත් වුවත් එය ගෝත‍්‍රික ආකල්පයක් සේ නොදකින තාක් කල් ඒ පුද්ගලයාගේ සම්පූර්ණ අවධානය යොමු වන්නේ මානව වර්ගයා වටහා ගැනීමටයි. ආගමික මුලධර්මවාදී හිංසනය විවිධ සමාජයන්හි කි‍්‍රයාත්මක වන්නේ හුදෙක් එය ආගමික ඇදහිල්ලකට හෝ විශ්වාසයකට වඩා එකී සමාජයේ දේශපාලන බලය ස්ථාවර කරගැනීමට හෝ උදුරා ගැනීමකට ආගමික පසුබිම යොදා ගැනීමත් සමගය. ජන සම්මතයන්ගෙන් බලය තීන්දු නොවනා රාජාණ්ඩු හා ආගමික සංස්ථා තුළත් බලය ඩැහැ ගැනීමට හිංසනය යොදා ගන්නා කල්ලි කණ්ඩායම් විසිනුත් මෙකී හිංසනයන් සාධාරණීකරණය කරනු පෙනේ. ඒ සඳහා ආගමික වූ මූලධර්මවාදය මෙන්ම ආගමික නීතින් ද පිටුබලයක් කරගැනීම ඒ සමාජයේ ප‍්‍රගමනයට බාධා පමුණුවනවා පමණක් නොව මුළු සමාජ දේහයම භීතියකට හා තැති ගැන්වීමකට ලක් කරනු ලබයි. ඉන් වඩාත් විපාක විඳිනුයේ ස්තී‍්‍රන් හා දරුවන් ය.

එක් ආගමකින් එක් විටෙක ස්ත‍්‍රියක් පුදසුනක් මත තබා උපහාර පුදන විට තවත් ආගමකින් තවත් ස්ත‍්‍රියක්ව පණ පිටින් වළ දමා ගල් ගසා මරා දමනු ලබයි. මේ වර්ෂ දහසකට හෝ දශක ගණනාවකට ඉහත සිදු වූ සිදුවීම් නොවේ. විසි එක්වන සිය වසේ දී ද මෙබඳු ම්ලේච්ඡු දෑ සිදු විණි. 2004 වසරේ දී අමීනා නමැති තරුණියව ඇෆ්ඝනිස්තානයේ උතුරු පළාතේ ගමක දී පණ පිටින් වළ දමා ගල් ගසා මරනු ලැබූයේ ඇය අනාචාරයේ හැසිරුණු බවට වරද පටවමිනි.

ස්ත‍්‍රී අයිතිවාසිකම් වෙනුවෙන් කැප වී කටයුතු කරන ‘රාවා‘සංවිධානයේ වෙබ් අඩවියෙහි ස්ත‍්‍රීන්ට එරෙහි මෙබඳු හිංසන ක‍්‍රියා නිරන්තරයෙන් වාර්තා කරනු ලබයි. එම සංවිධානය ස්ත‍්‍රීන්ගේ අයිතිවාසිකම් රැුක ගැනීම වෙනුවෙන් ඇෆ්ඝනිස්ථානයේ මුලින් ම බිහි වූ ස්තී‍්‍ර සංවිධානයයි. එහි ශෝචනීය ම කතාව වන්නේ එහි නිර්මාර්තෘවරිය වූ ‘මීනා‘ ද ආගමික අන්තවාදීන් විසින් ඝාතනය කරනු ලැබීමයි.

මීනා කේශ්වර් කමාල්

මීනා ඇෆ්ඝන් ගැහැණුන්ව හැඳින්වූයේ ‘නිදිගත් සිංහයන්‘ ලෙසින්ය. ඇය එසේ කීවේ කවදා හෝ දිනෙක ඔවුන් නිසැකව ම අවදිව සිය Meen for the Left sideඅයිතිවාසිකම් උදෙසා ඝර්ජනා කරමින් සටන් වදිනු නියත බවට ශපථ කරමින්ය. විසි වැනි වියට පිවිසෙත්ම විශ්ව විද්‍යාල අධ්‍යාපනය පසෙකට දමා ඇය 1977 දී ‘රාවා‘ සංවිධානය ආරම්භ කළේ සුවහසක් අපේක්ෂා සිත්හි තබා ගෙනය. එහි මූලික අරමුණු වූයේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම, ස්ත‍්‍රීන්ට හා පුරුෂයින්ට සම අයිතිවාසිකම් ලබා දීම, සමාජ සාධාරණත්වය හා ආගම් රාජ්‍ය පාලනයෙන් ඉවත් වීම යන සාධාරණ කරුණුය. එසේම රුසියානු හමුදා හා ඔවුන්ගේ රූකඩ පාලන රෙජීමයේ අසාධාරණ පාලනයට එරෙහිව ඇය 1979 දී රැුස්වීම් සංවිධානය කරමින් උද්ඝෝෂණ පවත්වමින් කටයුතු කළේ මහජන මතයක් ගොඩ නැගීමටය. ස්ත‍්‍රීන් දැනුවත් කිරීම වෙනුවෙන් ‘පායම් ඉ සාන්’ (ස්ත‍්‍රීන්ගේ පණිවිඩය) නමැති ද්වි-භාෂා සඟරාව ද ආරම්භ කළාය.

එසේම යුද්ධයෙන් අවතැන් වූ ළමයින්ට හා ස්ත‍්‍රීන්ට රෝහලක් හා පාසල් මෙන්ම ස්ත‍්‍රීන්ට අත්කම් මධ්‍යස්ථානයක් ද පකිස්තානයේ ආරම්භ කළේ ඇෆ්ඝනිස්තානයෙන් යුද්ධය නිසා පලා ගිය සරණාගතයින්ට පිහිට වනු පිණිසය. ඇයගේ සේවාවන් අගයමින් ප‍්‍රංශය හා වෙනත් යුරෝපා රටවලින් ඇයගේ සමාජ සේවාවන්ට ආධාර උපකාර කළ ද මේ සේවාවන් හා ක‍්‍රියාකාරිත්වයන් නො ඉවසූ ආගමික මූලධර්මවාදී කණ්ඩායම් හා රුසියානු කේ.ජී.බී. කල්ලියට සම්බන්ධ ඇෆ්ඝන් කණ්ඩායම් එකතු වී ඇයව 1987 පෙබරවාරි 04 වන දා ඝාතනය කරනු ලැබිණි. එහෙත් ‘රාවා‘ සංවිධානය දැනුදු මීනාගේ අරමුණු ඉටු කරමින් තවමත් ඇෆ්ඝනිස්ථානයේ ස්ත‍්‍රී අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගයි.

සල්මන් රුෂ්ඩි ලේඛකයා මෙන්ම තස්ලීමා නස්රීන් ලේඛිකාව මූලධර්මවාදයෙන් බැට කා ලෝක පූජිත වූ දෙදෙනෙකි.

තස්ලිමා නස්රීන්

Taslima_Nasrinබංග්ලාදේශයේ 1962 අගෝස්තු 25 වැනිදා උපත ලබන තස්ලිමා නස්රීන් ලේඛිකාවක් හා කිවිඳියක් වන අතර වෘත්තියෙන් වෛද්‍යවරියකි. ස්ත‍්‍රීන්ට එරෙහිව පවතින තහංචි, යල් පැනගිය නීති රීති, අසාධාරණයන් ඇයගේ නිර්මාණයන්ට ප‍්‍රස්තුත විය. එසේම ඇයගේ නිර්මාණ ස්ත‍්‍රීවාදී දෘෂ්ටියකින් නිර්මිත විය. නාරිවේදී වෛද්‍යවරියක් ලෙස කටයුතු කරන කාලයේ පිරිමින්ගේ ලිංගික බලහත්කාරයන්ට ගොදුරු වූ දැරියන්, ස්ත‍්‍රීන් ඇයගෙන් ප‍්‍රතිකාර ලබන්නට පැමිණි විට එම සිදුවීම්වල ම්ලේච්ඡුත්වය ඇය දුටුවාය. ඒවාට එරෙහිව හඬක් නැගිය යුතු බව අවබෝධ කර ගත් ඇය සිය විරෝධය පළ කළේ සිය කාව්‍ය නිර්මාණ හා අනෙකුත් ලේඛන තුළිනි.

1982 හා 1993 අතර ඇය විසින් ලියා පළ කළ කාව්‍යයන් සියල්ලක ම පාහේ තේමාව වූයේ ස්ත‍්‍රීන්ට එරෙහිව පවතින අප‍්‍රමාණ පීඩනයයි. ඇගේ පස්වැනි නව කතාව වූ ‘ලැජ්ජා’ කෘතියේ තේමාව වූයේ හින්දු පවුලක් මුස්ලිම් භක්තිකයින් විසින් හිංසනයට ලක් කිරීමයි. මෙම කෘතිය ප‍්‍රකාශයට පත් කිරීමත් සමඟ ඇය බලවත් පීඩාවන්ට හා ශාරීරික වධ හිංසනයන්ට ගොදුරු වූ අතර බංග්ලාදේශයේ බොහෝ මුස්ලිම් භක්තිකයෝ ඇයගේ ලැජ්ජා නව කතාව තහනම් කරන ලෙසට උද්ඝෝෂණ කළහ. 1993 ඔක්තෝබර් මාසයේදී එක්තරා මුස්ලිම් මූලධර්මවාදී කණ්ඩායමක් ඇයට මරණ දඬුවම අත් කර දෙන ලෙසට බලපෑම් කළහ.

මෙම මරණ තර්ජනයෙන් පසු දෙමසක කාලයක් සැඟ වී සිටි ඇය 1994 දී ස්වීඩනයට පළා ගියේ ඇගේ වෛද්‍ය වෘත්තියෙන් සදහට ම සමු ගනිමින් වුව ද ලේඛිකාවක් හා සමාජ ක‍්‍රියාකාරිනියක ලෙස කටයුතු කරනවාය යන දැඩි අධිෂ්ඨානයෙන් යුතුවයි. මෙසේ රටින් පිටුවහල් වූ ඇය 2004 දක්වා ම බටහිර රටවල වාසය කළාය. ස්වීඩන් රජයෙන් ඇයට පුරවැසිභාවය පිරිනමනු ලැබූ අතර ඇය ජර්මනියේ වාසය කළේ සරණාගත තත්ත්වය යටතේය. කෙසේ නමුත් ඇයට සිය රෝගී මව හා පියා බැලීමට මරණාසන්න මොහොතේ දී පවා එන්නට සිය උපන් රට වන බංග්ලාදේශයෙන් ගමන් බලපත‍්‍රයක් ලබා නොදුනි. 2000 වසරේ දී ඇය මුම්බායිවලට පැමිණියේ ඇයගේ ‘ශුද්ධ්’ යන නව කතාවේ පරිවර්තනයක් එළි දැක්වීම පිණිසය. එම අවස්ථාවේදීත් ‘අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස’ තේමා කර ගෙන තිබූ ඇය සහභාගී වීමට නියමිතව තිබූ වැඩ සටහන මුස්ලිම් මූලධර්මවාදීහූ විසින් තහනම් කළ අතර ඇයව පණ පිටින් පුළුස්සා මරණ බවට ද තර්ජනය කර සිටියහ.

2004 වසරේ දී ඇයට නේවාසික පුරවැසිභාවය ඉන්දියානු රජය විසින් පිරිනමන ලදුව ඇය කොල්කොටාවේ බටහිර බෙන්ගාලයේ පදිංචි වූවාය. ඒ කාලයේ දී ඇය ඉන්දියානු පුවත් පත් සඟරාවන්ට ලිපි සපයමින් සිය ලේඛිකා ජීවිතය ගත කළේ ඇය ලියන කියන භාෂාව එම ප‍්‍රදේශයේ ද භාවිතා වන භාෂාව බැවිනි. ‘ආනන්ද බසාර් පත‍්‍රිකා’ හා ‘දේශ්’ යන ප‍්‍රකාශනවල ඇයගේ ලිපි ලේඛන නිතර පළ කරනු ලැබිණි. මේ කාල සීමාවේ ඇය ලියූ දේවල් මෙන්ම ඇය විසින් ඇගේ පද්‍ය නිර්මාණ සමාජගත කිරීම් නිසා විවිධ මූලධර්මවාදී සංවිධාන මගින් ඇයට එල්ල වූ තර්ජන ගර්ජන අසීමිත විය.

2005 වසරේදී ඇය ‘ඇමෙරිකා’ නම් වූ යුද විරෝධී කාව්‍යයක් කියවීමට නිව් යෝර්ක් නුවර මැඩිසන් චතුරස‍්‍රයේ වේදිකාවට පිවිසුණු විට ඇයව එතැනින් පිටමන් කරන්නට තරම් මූලධර්මවාදීන් සමත් විය. එපමණක් නොව ඒ සිදුවීම හේතු කොට ගෙන ඉන්දියාවේ එක් මූලධර්මවාදී කණ්ඩායමක් මගින් ඇයගේ හිස ගසා දමන කෙනෙකුට ඉන්දියානු රුපියල් 500,000ක් දෙන බවට ද ප‍්‍රකාශයක් නිකුත් කරනු ලැබිණි.

තස්ලිමා නස්රීන් ගැරහුම් අවමන්වලට මෙන්ම සම්මානයන්ට හා ප‍්‍රශංසාවන්ට ද එක සේ පාත‍්‍ර වීම ඇයගේ නිර්මාණශීලිත්වය හා නිර්භීතකම එකට අත්වැල් බැඳ ගෙන සිටීම නිසා හා ඇයට තිබුණු ජාත්‍යන්තර පිළිගැනීමත් සමඟම සිදු විණි. ඇය බොහෝ විදේශයන් ගෙන් ජාත්‍යන්තර සම්මාන 28ක් දිනා ගත් අතර පැරීසියේ ඇමෙරිකානු විශ්ව විද්‍යාලයෙන් ගෞරවවේදී ආචාර්ය උපාධියකින් ද පිදුම් ලැබුවාය.

ඇයගේ නිර්මාණශීලිත්වය අගයමින් ඇයව දිරිමත් කරමින් ඇයට සහයෝගය පළ කරන්නට ලේඛක ලේඛිකාවෝ සහ කලාකරුවෝ බොහෝ දෙනෙක් ඉදිරිපත් වූහ. මහේශ්වතා දේවී ගත්කතුවරිය, චිත‍්‍රපට අධ්‍යක්‍ෂ විභාෂ් චක‍්‍රවර්ති, කිවියර ජෝ ගෝස්වාමි, චිත‍්‍ර ශිල්පීන් වූ ප‍්‍රකාශ කර්මකර් හා පරිතෝශ් සෙන් මෙන්ම අරුන්දතී රෝයි සහ ගිරිෂ් කර්නද් වැනි ලේඛක ලේඛිකාවෝ ද ඇයව නිවාස අඩස්සියේ තැබීමට එරෙහිව ඇය වෙනුවෙන් කතා කළහ.

මලාලා

malala1මෑත කාලයේදී මුළු ලොවම කම්පා කරවමින් ජගත් අවධානයට ලක් වූ මලාලා දැරිය ද මූලධර්මවාදීන්ගේ තවත් ජෙක් විය. මලාලා යුසුෆ්සායි මෙලොවට බිහි වූයේ 1997 ජූලි මස 12 වන දින පෂ්ටූන් බස කතා කරන සුන්නි මුස්ලිම් පවුලක සාමාජිකාවක් ලෙසටයි. ඇය මූලික අධ්‍යාපනය ලැබුවේ සිය පියාණන් වූ සියායුද්දීන් යුසුෆ්සායි වෙතිනි. ඔහු දක්ෂ කවියෙකු මෙන්ම පාසලක හිමිකරුවෙක් හා අධ්‍යාපන අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කළ ක‍්‍රියාධරයෙක් ද විය. ඔහු යටතේ ‘කුශාල් පොදු පාසල්’ නමින් පාසල් පද්ධතියක් ක‍්‍රියාත්මක විණි.

මලාලා දැරිය සිය පියාගේ ද ගුරුහරුකම් අනුව යමින් දැරියන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් ගැන පළාත් මාධ්‍ය සමුළුවක දී කතාවක් කළේ 11 වන වියේදීය. එනම් 2008 සැප්තැම්බර් මාසයේදීය. එය රූපවාහිනි සහ ගුවන් විදුලි මාධ්‍ය ඔස්සේ විකාශනය වූ අතර මුද්‍රිත මාධ්‍යයන්ගෙන් ද ප‍්‍රකාශයට පත් විණි. කතාවේ තේමාව වූයේ ‘අධ්‍යාපනය සඳහා මට ඇති මූලික අයිතිවාසිකම තලේබාන්වරුන් උදුරා ගන්නේ කෙසේද?‘ යන්නයි.

තලේබාන් සටන්කාමීන් විසින් සිවිල් වැසියන් බියපත් කරවමින් ඔවුන්ගේ අණසක පතුරුවා සිටියේ රූපවාහිනිය, සංගීතය හා ගැහැණු දරුවන් පාසල් යැවීම පමණක් නොව ගැහැණුන් සාප්පු යෑම පවා තහනම් කරමිනි. ඔවුහූ නගර මධ්‍යයන්හි හිස ගසා දමනු ලැබූ පොලිස් නිලධාරීන්ගේ කවන්ධයන් එල්ලා මිනිසුන්ව බිය පත් කරමින් තර්ජන එල්ල කළහ.

2008 වසරේ අග භාගයේ දී උර්දු බසින් බි.බී.සී.සේවයේ යෙදෙන අමීර් අහමඞ් ඛාන්ට මෙම තොරතුරු උක්ත පීඩනයන්ට ගොදුරු වන දැරියක් ලවා ම ලොවට හෙළිදරව් කිරීමට අවශ්‍ය විය. ඒ සඳහා බ්ලොගයක් කිරීමට කවුරුන් හෝ සොයා දෙන ලෙසට අමීර් මලාලාගේ පියාගෙන් ඉල්ලා සිටියේය.

මේ සඳහා මලාලාගේ පියාගේ පාසලක සිටි අයේෂා නමැති දැරියක් එකඟ වූ නමුත් එයට ඇයගේ පවුලේ අනුමැතිය නොලැබුණි. මේ අභියෝගය මලාලාට පැවරුණේ ඒ අයුරිනි. දැරියන්ගේ අධ්‍යාපනයට ඇති අයිතිය උදුරා ගැනීම පිළිබඳව ඇය තුළ වූ කණස්සල්ලට එරෙහිව හඬක් නැගීමට ලැබීම ගැන බෙහෙවින් සතුටට පත් වූ ඇය ඒ කාර්යය භාර ගත්තාය. එහෙත් ඇයගේ ආරක්ෂාව සඳහා නියම නමින් නොව ආරූඪ නාමයකින් ලිවීම වඩාත් උචිත බව ඔවුන්ගේ අදහස විය. ඒ අනුව ඇය ‘ඉරිඟු මල‘ (ගුල් මකායි/කෝන් ෆ්ලවර්)යන නමින් ලියන්නට පටන් ගත්තාය.

2009 ජනවාරි 29 වන දා ඇයගේ මුල් ම රචනය බී.බී.සී. උර්දු බ්ලොගයේ පළ විණි. ඇය සිය නිර්මාණ අතින් ලියා වාර්තාකරුවකු මගින් ස්කෑන් කොට බී.බී.සී. වෙත ඊමේල් කරනු ලැබිණි. ස්වාත් නිම්නයේ තලේබාන් සටන් ඇරඹීමත් සමග ම බොහොමයක් ගැහැණු දරුවන්ගේ පාසල් ගමන ඇණ හිටීමේ ඛේදවාචකය පිළිබඳව ඇගේ කම්පනය ඉන් විදහා දැක්විණි. ඒ වන විටත් ගැහැණු පාසල් 100 කට ආසන්න ප‍්‍රමාණයක් බෝම්බ දමා පොළවට සමතලා කොට තිබිණි. ඇය දවසින් දවස අත් විඳින දුක් ගැහැට අකුරු කළාය. ලොවට ඇසෙන්නට සැලැස්වූවාය. ඔවුන්ගේ නිවස ද තලේබාන් සටන්කාමීන් කොල්ල කෑ අතර රූපවාහිනිය ද පැහැර ගෙන යනු ලැබිණි. පිරිමි පාසල් විවෘත වුණ ද ගැහැණු පාසල් වාරණය වෙමින් වසා දැමිණි. තහනම නිසා 700ක් සිසුන්ගෙන් පාසල් පැමිණියේ 70ක් පමණ බව ඇය ලියා දැන්වූවාය. ප‍්‍රාදේශීය තලේබාන් නායකයා කියා සිටියේ දවස් තුනකට පසු ගැහැණු පාසල් විවෘත කරන බවත් එහෙත් සියලූම ගැහැණු ළමයින් බුර්කා හැඳ ගෙන පාසල් පැමිණිය යුතු බවත්ය. මලාලාගේ පන්තියේ සිසුවියන් 27 දෙනාගෙන් 19ක් ම පාසලට පැමිණි බව ඇය ලියා සිටියාය. එහෙත් දිගින් දිගට ම හමුදාව හා තලේබාන් සටන් කාමීන් අතර යුද්ධය සිදුවන බැවින් ඔවුන් ෂෙල් වෙඩි හඬින් බියට පත් වන ආකාරය ද ඇය ලීවාය. මාර්තු 9 වන දා ඇය ලියා දැන්වූයේ විද්‍යාව ප‍්‍රශ්න පත‍්‍රයට ඇය සාර්ථකව පිළිතුරු දුන් බවයි. ඇය ලියූ බ්ලොගය 2009 මාර්තු 12 අවසන් විය.

2009 දෙසැම්බර් වන විට බී.බී.සී. උර්දු බ්ලොගයට ලිව්වේ ඇය බව හෙළි දරව් විය. මරණ තර්ජන දසතින් ගලා ආවද ඉන් සසල නොවූ ඇය සිය අදහස් නොයෙක් ජන මාධ්‍යයන් ඔස්සේ පළ කර සිටියාය. 2012 ග‍්‍රීෂ්මයේ දී ඇයව මරා දමන්නට තලේබාන් සංවිධානය තීරණය කළේය. 2012 ඔක්තෝබර් 09 වන දා ඇය පකිස්තානයේ ස්වාත් නිම්නයේ විභාගයකට පෙනී සිට ආපසු එන අතරතුර තලෙබාන් අන්තවාදියෙකු විසින් ඇයට වෙඩි තබන ලදී.

කයිනත් රියාස් සහ ෂාසියා රම්සාන් නමැති ඇයගේ යෙහෙළියන් දෙදෙනා ද මෙම ප‍්‍රහාරයට ගොදුරු වූහ. වෙඩි වැදීමෙන් පසුව ඇයව පෙෂාවර්හි හමුදා රෝහලට ගුවන් මගින් ගෙන එනු ලැබිණි. පැය තුනක ශල්‍ය කර්මයකින් පසු උණ්ඩය ඉවත් කරනු ලැබිණි. වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ඇයව බර්මින්හැම්හි ක්වීන් එලිසබෙත් රෝහලට ගෙන යනු ලැබිණි. 2012 ඔක්තෝබර් 17 වන දා ඇය කෝමාවෙන් මිදුණු අතර 21 වන දා වන විට ඇයගේ තත්ත්වය ස්ථාවර බවත් මොළයට සිදුවූ හානිවලින් අනතුරුදායක තත්ත්වයක් මතුවට ඇති නොවන බවටත් වෛද්‍යවරු පැවසූහ. ඇයට සිදු වූ අසාධාරණය පිළිබඳව ජාත්‍යන්තරයේ දැඩි කතා බහට ලක් විය. මූලධර්මවදීන්ට එරෙහිව තියුණු විරෝධයක් ලොව පුරා ගොඩ නැගුණු අතර මලාලාගේ ජීවිතය ගලවා ගැනීමටත් දරියන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් වූ ඇයගේ සටන දිගට ම ගෙන යෑමටත් ආධාර සංවිධාන බිහි වන්නට විය. මලාලා පදනම නමින් ඇය වෙනුවෙන් ආධාර සංවිධානයක් ගොඩ නැගිණි. මැඩෝනා නම් වූ සුප‍්‍රකට ගායිකාව ඇය වෙනුවෙන් ගීයක් නිර්මාණය කළ අතර ඇන්ජලිනා ජොලී නම් වූ සුප‍්‍රකට හොලිවුඞ් නිළිය මලාලා පදනමට ඇමෙරිකානු ඩොලර් 200,000ක් පරිත්‍යාග කළාය.

බකින්හැම් මාළිගයට ගොස් දෙවැනි එලිසබෙත් මහ රැුජිණ ද මුණ ගැසුණු ඇය, ඇයගේ 16 වන උපන් දිනය වන 2013 ජූලි 12 වන දා එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ දැරියන්ගේ අධ්‍යාපන අයිතිය පිළිබඳ සිය අදහස් පළ කර සිටියාය. එම දිනය ‘මලාලා දිනය’ යනුවෙන් ද නම් කෙරිණි. 2011 සිට මේ වන විට ඇය ජාතික හා ජාත්‍යන්තර සම්මාන 35 කින් පිදුම් ලැබූ අතර නෝබල් ත්‍යාගයට ද තෝරා ගනු පිණිස නාම යෝජනා ඉදිරි පත් කර ඇති බව ‘මම මලාලා වෙමි’ යන ග‍්‍රන්ථයෙහි සටහන් කර ඇත. නොබෙල් ත්‍යාගය සඳහා යෝජිත ලාබාල ම තැනැත්තිය ලෙස ද ඇය ලෝක වාර්තාවක් තබා ඇත.

ඇය ක‍්‍රිස්ටිනා ලෑම්බ් සමග ලියූ ‘මම මලාලා වෙමි’ (අයි ඇම් මලාලා) කෘතිය තහනම් කරන ලෙසට සමස්ත පකිස්තානු පෞද්ගලික පාසල් සංසදය මගින් ඉල්ලා සිටින අතර ඔවුන්ගේ අනුබද්ධිත ආයතන 152,000ක එම පොත පරිශීලනය තහනම් කර ඇත.

මූලධර්මවාදීන්ගෙන් ගැරහුම්, අවමන් හා තර්ජන එන තරමට ම මානවවාදී ලෝකයෙන් පැසසුම් හා සම්මාන ලැබෙයි. එහෙත් අයිතිවාසිකම් වෙනුවෙන් සිය අදහස් ප‍්‍රකාශ කිරීම මත ස්ත‍්‍රීන්ට හා දැරියන්ට ආගමේ හෝ සංස්කෘතියේ නාමයෙන් මෙලෙස වධ හිංසා පැමිණ වීම හෝ ජීවිතයට තර්ජනය කිරීම් 21 වන සියවසෙහි කෙළවරදීවත් නිමා කිරීමේ වගකීම භාර ගත යුත්තේ කවුරුන් විසින් දැයි මහ හඬින් අසා සිටිමි.

ආචාර්ය පුෂ්පා රම්ලනී

Cartoon 2

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s