“කවුරු පිළිගත්තත් නැතත් යළි පිහිට වූ භික්‍ෂුණී ශාසනයේ පළමු භික්‍ෂුණිය මමයි.” කොළොන්නාවේ කුසුමා භික්‍ෂුණීන් වහන්සේ

Kusuma Bikkuniආණ්ඩුවටත් වඩා ලොකු බල කණ්ඩායමක් නිසා භික්‍ෂුණී ශාසනයට නිල පිළිගැනීමක් තවමත් ලබා ගන්න නොහැකි වෙලා තියෙනවා. එහෙම සැලකීම බුදුන් අනු දැන වදාළ ක‍්‍රමය නෙමෙයි. මේ බලවන්ත කණ්ඩායමට අයත් මහ නායක හිමිවරුන් මීට වඩා විවෘතව, සාධාරණව, ධර්මය විග‍්‍රහ කර ගෙන කාරුණිකව මේ ගැටලූවට මැදිහත් වීම වැදගත්. භික්‍ෂුණී ශාසනය පිළිගැනීමෙන් කිසිවෙකුට කිසිවක් අහිමි වෙන්නේ නැහැ. අවැඩක් වෙන්නේ නැහැ. ධර්මයට හෝ විනය නීතිවලට පටහැනි වන්නේ නැහැ. ශාසනයේ ඉතිරි දෙපාර්ශ්වය වන උපාසක උපාසිකාවන්ට ඒක වැදගත් වෙන්න පුලූවන්. අනෙක් අතින් ධර්මානුකූල ජීවිතයට කැප වූ ස්තී‍්‍රන්ට ජනතාවගේ හිත සුව පිණිස කටයුතු කිරීමේ දී එම පිළිගැනීම වැදගත්. භික්‍ෂුණීන් වන අපටත්, භික්‍ෂුණී ශාසනයේ පැවැත්මටත් මෙම නිල පිළිගැනීම ලබා නොදෙන එක ලොකු බාධාවක්.

නිල පිළිගැනීම මටනම් පෞද්ගලිකව වැදගත් නැහැ. මම ශී‍්‍ර ලංකාවේ භික්‍ෂුණී ශාසනය පිහිටුවීමේ දී මූලිකව කටයුතු කළ කෙනෙක්. කවුරු පිළිගත්තත් නැතත් ශී‍්‍ර ලංකාවෙන් අහෝසි වී ගිය භික්‍ෂුණී ශාසනය යළි පිහිටුවමින්, අනුව දශකයේ මුල් භාගයේ භික්‍ෂුණී උපසම්පදාව ලබා ගත් පළමු වැනි භික්‍ෂුණිය මමයි. භික්‍ෂුණීභාවය ලබා ගත් පළමු දසදෙනාගේ කණ්ඩායමේ නායකත්වය ගත්තේ මමයි. මම පැවිදි වූයේත් භික්‍ෂුණී ශාසනය පිහිටු වීමට ධර්මය හා පාලි භාෂාව පිළිබඳ හසල දැනුමක් ඇති ස්ති‍්‍රයකගේ මූලිකත්වය ගැනීම අවශ්‍ය වූ නිසයි. ඒ වගේ ම මගේ ප‍්‍රථම උපාධිය, ශාස්ත‍්‍රපති උපාධිය සහ ආචාර්ය උපාධි දෙකක් සඳහාත් මම බෞද්ධ දර්ශනය පිළිබඳ හැදෑරීම් කළා. ප‍්‍රථම උපාධියේ සිට පාලි භාෂාව පිළිබඳ හැදෑරීම් කළා. භික්‍ෂුණී ශාසනය පිළිබඳ ගවේෂණ කළා. වසර ගණනාවක් පුරා මම කළ ගවේෂණ ඔස්සේ ශී‍්‍ර ලංකාවේ භික්‍ෂුණී ශාසනය ස්ථාපනය කිරීමේ හැකියාව, ධර්මානුකූල අවශ්‍යතාව සහ ඒ සඳහා ස්තී‍්‍රන්ට ඇති අයිතිය ගැන පෙන්නා දුන්නා. බුද්ධ දර්ශනය පිළිබඳ එවැනි අවබෝධයක, ගවේෂණයක සහ තර්කානුකූල විමසීමක සිටි ආචාර්ය, මහාචාර්යවරුන්/වරියන් මෙන්ම එවැනි ම ශ්‍රේෂ්ඨ භික්‍ෂූන් වහන්සේලා භික්‍ෂුණී ශාසනය ඇති කිරීමේ අවශ්‍යතාව සහ හැකියාව වටහා ගෙන නොයෙක් කතිකාවන් කළා.

ඒ කාලේ මා සමඟ සම්බන්ධව සිටි ඒ සියලූ උගතුන් ඒ සඳහා මාව උනන්දු කළා. දීර්ඝ කාලීනව කළ සාකච්ඡුාවලින් පසුව, බුද්ධගයාවේ මහාබෝධි විහාරයේ සභාපති මාපලගම විපුලසාර හිමියන්ගේ අනුශාසකත්වයෙන් භික්‍ෂුණී ශාසනය ඇති කිරීමේ කටයුතු සැලසුම් කළා. බරණැස ඉසිපතනාරාමයේ තමයි සීමා මාලකය පිහිටුවා භික්‍ෂුණී උපසම්පදාව සඳහා කටයුතු සූදානම් කළේ.

ඒ වෙන කොට ශී‍්‍ර ලංකාවේ හිටියේ දස සිල් මෑණිවරු (සිල් මාතා) විතරයි. ආචාර්යවරියක් වශයෙන් ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංගී‍්‍රසි ඉගැන්වූ මම ඒ වෙන කොට විශ‍්‍රාම අරගෙන තව දුරටත් බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ගවේෂණය කරමින් ඉහත කී ආචාර්ය මහාචාර්යවරුන් හා උගත් භික්‍ෂූන් වහන්සේලා සමඟ සංවාදයක හිටියේ. ආචාර්ය කුසුමා දේවේන්ද්‍ර වශයෙන් හැඳින්වූ මට පුතුන් තුන් දෙනෙක් සහ දියණියක් හිටියා.

ඒ තරුණ දරුවන් ඒ වෙනකොට විවාහ වෙලා. ශී‍්‍ර ලංකාවේ භීක්‍ෂුණී ශාසනය පිහිටුවීමේ මෙම ප‍්‍රථම භීක්‍ෂුණී උපසම්පදා කණ්ඩායමේ නායකත්වය ගැනීමට ධර්මය සහ5 Bukkhuni Kusuma and Samaneri Akincana පාලි භාෂාව ගැන හසල දැනුමක් ඇති කෙනෙකුගේ අවශ්‍යතාව මතු වුණා. භීක්‍ෂුණී ශාසනය පිහිටුවීමේ අවශ්‍යතාව සහ හැකියාව පෙන්නා දුන් මට ම විපුලසාර හිමියන් යෝජනා කළා මහණ වී නායකත්වය ගන්නා ලෙසට. ධර්මයේ පිහිටා ජීවත් වූ මම මහණ වීම ගැන සිතා සිටියේ නැතත් ඒ වෙනුවෙන් සම්පූර්ණයෙන් ම කැප වෙන්න තීරණය කළා. මට තිබුණු දෙමහල් නිවස සහ සියලූ දේ සැමියාට පවරා මහණ වුණා. 1996 දී කැළණි විහාරයේ දී එහි නායක හිමියන්ගේ අනුශාසකත්වයෙන් මහණ වෙලා පළමු කණ්ඩායමත් සමඟ භික්‍ෂුණී උපසම්පදාව ලැබීම සඳහා ඉන්දියාවට ගියා. ශී‍්‍ර ලංකාවේ භික්‍ෂූන් සහ චීනයෙන් වැඩම කළ භික්‍ෂුණීන් වහන්සේ යන උභතෝ සංඝයා ඉදිරියේ මම පළමු උපසම්පදාව ලැබුවා. කණ්ඩායමේ අනෙක් අයත් එලෙස ම උපසම්පදාව ලබා ඉසිපතනාරාමයේ අප වෙනුවෙන් වෙන් කළ කොටසක ජීවත් වෙමින් වසර දෙකක් භික්‍ෂුණී විනය නීති රීති පිළිබඳ පුහුණුව ලබලා ලංකාවට ආවා.

ශී‍්‍ර ලංකාවේ භික්‍ෂුණී ශාසනය පිහිටුවීම සඳහා භික්‍ෂුණී උපසම්පදාව පැවැත්වීම ලෝක වාසී බෞද්ධයන්ට ඉතාමත් වැදගත් අවස්ථාවක් වුණා. එම අවස්ථාව දැක ගැනීම සහ සහභාගී වීම සඳහා චීනයට අමතරව බුරුමය, තායිවානය, තායිලන්තය වගේ රටවල් කිහිපයක ම භික්‍ෂූන් භික්‍ෂුණීන් පැමිණ සිටියා.

විශ්ව විද්‍යාල ආචාර්යවරියක් වගේ ම පවුලේ ආර්ථික ශක්තියත් සමඟ තරමක පහසු ජීවිතයක් ගත කළ මට ලංකාවට ඇවිත් මුලින් ම ජීවත් වෙන්න වුණේ හොරණ ප‍්‍රදේශයේ ඔලබොඩුව නම් ඇතුළත ගම්මානයේ හිතවත් ආරාමයක. කිසිදු පහසුකමක් තිබුණේ නැහැ. මා සතුව ඉතිරි වූ මුදල් වියදම් කරලා ඒ ආසන්නයේ ඉඩමක් අරගෙන පොඩිවට ආරාමයක් හැදුවා. ඒ වන කොටත් මට විදේශ භික්‍ෂුණියන් සහ බෞද්ධ උගතුන් සමඟ සම්බන්ධතා විශාල ප‍්‍රමාණයක් තිබුණා. ධර්ම සාකච්ඡුා, දේශනා සඳහා ඔවුන් මට එම රටවලට ආරාධනා කරනවා. ඒ නිසා මට නිතර පිට රටවල යන්න සිද්ධ වුණා. ඒ වගේම විදේශීය භික්‍ෂුණීන් වහන්සේලා ලංකාවට ඇවිත් මං ඇති කරපු කුඩා ආරාමයේ නවාතැන් ගන්නවා. ඒවායේ ප‍්‍රතිඵලයක් වශයෙන් ‘ආර්ය ඛේමා’ නම් භික්‍ෂුණීන් වහන්සේගේ උදව්වෙන් අපේ ආරාමය භාවනා මධ්‍යස්ථානයක් වශයෙන් වැඩි දියුණු කරන්න පුළුවන් වුණා. අපගේ දාන අවශ්‍යතා සපුරා ගන්නේත් එවැනි හිතවත් අයගේ උදව්වෙන්.

අපි භික්‍ෂුණී ශාසනය ඇති කළාට පස්සේ දඹුල්ල රජ මහා විහාරයේ ඉණාමලූවේ සුමංගල නායක හාමුදුරුවෝ ඒ සම්බන්ධයෙන් දිගට ම කටයුතු කළා. විපුලසාර හාමුදුරුවෝ අපවත් වුණා. දඹුල්ලේ නායක හාමුදුරුවොත් 20ක පමණ සිල් මාතාවන් කණ්ඩායමක් අපේ උපසම්පදාවෙන් අවුරුදු දෙකකට විතර පස්සේ ඉන්දියාවට කැඳවා ගෙන ගොස් උපසම්පදා කර්මයක් පැවැත්වුවා. එය පැවැත්වූයේ සාරානාත්වල. එහිදීත් චීන භික්‍ෂුණියන් ගෙන්වා තිබුණා. මමත් දායක වුණා. ඉංගී‍්‍රසියෙන් පාලියට පරිවර්තන කටයුතු කළේ මම. දඹුල්ලේ හාමුදුරුවෝ ඒ කටයුත්ත වෙනුවෙන් දිගට ම පෙනී හිටිනවා. ඒත් එක්ක ම අනෙක් නායක හිමිවරු තව තවත් විරුද්ධ වෙනවා.

පිළිගැනීම නැතිකම නිසා භික්‍ෂුණීන් වහන්සේලාට භෞතික වශයෙන් අනන්‍යතාව තහවුරු කිරීමට අපහසු වෙලා තියෙනවා. භික්‍ෂූන් වහන්සේලාට ජාතික හැඳුනුම්පත, ගමන් බලපත‍්‍ර වැනි අනන්‍යතාව තහවුරු කරන ලේඛනවල දී ‘භික්‍ෂූ‘ යන අනන්‍යතාව ඇතුළත් කළ හැකියි. එහෙත් භික්‍ෂූණීන්ට එසේ ඇතුලත් කිරීමට හැකියාවක් නැහැ. සිල් මාතාවන්ට ලැබී ඇත්තේ භික්‍ෂූන්ට වඩා පහළ තත්ත්වයක්. ‘සිල් මාතා’ යන අනන්‍යතාව ගැන ගැටලූවක් නැහැ. ඒ වගේම සිල් මාතාවන්ට ධර්මය ඉගෙන ගැනීමට වෙනම ආරාම පවත්වා ගෙන යෑමට රජයෙන් යම් යම් අනුග‍්‍රහ ලැබෙනවා. නමුත් භික්‍ෂුණීන් වශයෙන් පිළිගැනීමක් නැති නිසා එවැනි අනුග‍්‍රහ කිසිවක් ද ලැබෙන්නේ නැහැ. භික්‍ෂුණී කියන්නේ භික්‍ෂු ශාසනයට සමාන වගකීම් යුතුකම් සහිත තත්ත්වයක්. භික්‍ෂුණීභාවය ලැබුණත් භික්‍ෂූන්ට වඩා පහත් කොට සලකන අෂ්ට ගරු ධර්ම කියලා කොටසක් ගැන කියැවෙනවා. බුදුන් වහන්සේ භික්‍ෂුණීන්ට සමාන ලෙස සැලකූ ආකාරය, භික්‍ෂු භික්‍ෂුණී වෙනසක් නොකොට තනතුරු දුන් ආකාරය සහ අනෙකුත් ධර්ම කාරණා අනුව බලන කොට අෂ්ට ගරු ධර්ම බුදුන් විසින් දේශනා කළ ඒවා ලෙස කිසිසේත් ම සැලකිය නොහැකියි. ඒවා පසුකාලීනව එකතු වුණ ඒවා. නමුත් භික්‍ෂු භික්‍ෂුණී විනය තියෙනවා. ඒවා පිළිපැදිය යුතුයි.

විනය නීති අනුව භික්‍ෂු භික්‍ෂුණී දෙපාර්ශ්වයට ම සල්ලි භාවිතා කරන්න බැහැ. ඒත් එදිනෙදා පැවැත්වීමේ දී ගමන් බිමන් යෑමේදී මුදල් භාවිතා කරන්න වෙනවා. සමහර උගත් සාමණේරීවරියන් එම විනය නීති අකුරට ම පිළිපදිමින් ධර්මයේ හැසිරෙන්නට කැමැති නිසා භික්‍ෂුණී උපසම්පදාව ලබා ගන්නේ නැතිව ඉන්නවා. හේතුව ගමන් බිමන් යන්න, මුදල් ගනුදෙනු කරන්න සිද්ධ වෙන නිසා. ඒත් එහෙම ධර්මය අධ්‍යාත්මයෙන් ම පිළිපදින වෙනත් අය ඉන්න පුලූවන්ද?

භික්‍ෂුණී ශාසනයට පිළිගැනීමක් අවශ්‍ය බව මම කියන්නේ මං ගැන හිතලා නෙමෙයි. මගේ අවසන් කාලයේ තව තවත් අධ්‍යාත්මිකව ධර්මය ඇසුරු කරන එකයි මට වැදගත්. මට දැන් අවුරුදු අසූ හතරයි. නමුත් භික්‍ෂුණී ශාසනය ශී‍්‍ර ලංකාවේ පිළිගැනීමට ලක්වෙලා බුද්ධ ශාසනය සම්පූර්ණ වෙන්න ඕනේ. අනෙක මේ පිළිනොගැනීමට කිසිදු සාධාරණ හේතුවක් නැහැ. අනුරාධපුර යුගයෙන් පස්සේ චෝල ආක‍්‍රමණ නිසා භික්‍ෂු භික්‍ෂුණී දෙපාර්ශ්වය ම අහෝසි වෙලා ගියා. භික්‍ෂු ශාසනය යළි පිහිට වූයේ පසුව සියම් රටෙන් ගෙන්වලා. භික්‍ෂුණීන් නැති වී ගියත් ලංකාවෙන් චීනයට වැඩම කළ දේවසාරා භික්‍ෂුණිය ඇතුලූ කණ්ඩායම සහ පසුව ගිය තවත් කණ්ඩායමක් එක්වී ඝණ පූරණය සහිතව චීනයේ ස්තී‍්‍රන් සඳහා භික්‍ෂුණී ශාසනය පිහිටුවා තියෙනවා හයවැනි ශතවර්ෂයේ. ඉතින්, ඒ ශී‍්‍ර ලංකාවේ ථෙරවාද භික්‍ෂුණීන් විසින් චීනයේ ඇති කළ භික්‍ෂුණී පරම්පරාවෙන් සහ ශී‍්‍ර ලංකාවේ භික්‍ෂූන් ඇති කළ ථෙරවාදී භික්‍ෂු පරම්පරාව යන උභතෝ සංඝයා ඉදිරියේ තමයි අපි භික්‍ෂුණී උපසම්පදාව ලබා ගත්තේ. ඒ ලබා ගත් භික්‍ෂුණීභාවයට නිල පිළිගැනීමක් ලැබෙනවානම් පොහොය කර්ම කොට ශී‍්‍ර ලංකාවේ උභතෝ සංඝයා ඉදිරියේ භික්‍ෂුණී උපසම්පදාව පවත්වා ශක්තිමත් භික්‍ෂුණී ශාසනයක් ඇති කළ හැකියි.

ගවේෂණය හා හැදෑරීම් අවශ්‍ය නිසා භික්‍ෂුණී උපසම්පදාව ගන්නේ නැහැ.
සාමණේරී අකින්කානා – ජර්මනිය

4 Samaneri Akincanaඋපසම්පදාව ලබා භික්‍ෂුණීභාවය ලබා ගන්නවානම් භික්‍ෂුණී විනය හරියට ම පිළිපදින්න ඕනේ වර්තමානයේ සමහර කරුණු කොයිතරම් අපහසු වුණත්. මුදල් භාවිත නොකර ඉන්න අමාරුයි. මම ජර්මන් ජාතිකයෙක් විදිහට මගේ රටේ ඉඳලා බෞද්ධ රටවල හැදෑරීම්වලට යන එන නිසා.

මම ලංකාවට එනවා බණ භාවනා කරන්න වගේම ධර්මය පිළිබඳ ගවේෂණ කටයුතුවලටත්. ඉතින් මට මුදල් අල්ලන්න වෙනවා ගමන් බිමන් යනකොට. තනියම යන්න එන්න වෙනවා. මුදල් විතරක් නෙමෙයි වස්තූන් ගොඩ ගහන වර්තමාන ශාසන පැවැත්ම විනය විරෝධීයි. සාමණේරී තත්ත්වයේ දී භික්‍ෂුණී විනය නීති බලපාන්නේ නැති නිසා මගේ අධ්‍යාත්මික ගවේෂණයට සාමණේරී තත්ත්වය පහසුයි. ඒත් ලංකාවේ භික්‍ෂුණීත්වය පිළි නොගැනීමට නම් කිසිදු සාධාරණ හේතුවක් ඇති බව මම ඉගෙන ගත්, ගවේෂණය කළ බෞද්ධ ධර්මය අනුව නැහැ.

(ඇය පාලි භාෂාව පිළිබඳ ශාස්ත‍්‍රපති හා ආචාර්ය උපාධිධාරිනියකි. ජර්මනියේ මෙයින්ස් විශ්ව විද්‍යාලයේ ආචාර්යවරියක් වශයෙන් කටයුතු කර ඇත.)

සාකච්ඡුාව සහ ඡායාරූප
සීතා රංජනී

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s