අතීත උරුමය, වත්මන් පටු සීමා අතර ස්තී‍්‍ර ශක්තිය

Women Urumaraසියලූ සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය. මමය මාගේය කියා කිසිවෙකුත් නැත” යනු බෞද්ධ දර්ශනයේ හරය ලෙස සලකන විට, පවතින ආගමික ආයතනවලින් ගම්‍ය වන හරය එයට හාත්පසින් ම වෙනස් වුවක් බව කිව මනා නොවේ. බෞද්ධ දර්ශනයට ඉඳුරාම පටහැනි මතවාදයන් ඉතා ම සාවද්‍ය ලෙස ‘බෞද්ධ’ යන නමින් සමාජයේ ස්ථාවර වන විට, ස්ති‍්‍රයගේ කාර්ය සාඵල්යනය කෙබඳු දිසාවකට ගමන් කරන්නේ ද යන්න විමසීම කාලෝචිතය.

ගෝලීයකරණය තුළ පුද්ගල සමූහයන් සහ සංස්කෘතීන් අතර අන්තර් සම්බන්ධතා වේගවත් වී ඇති වර්තමාන සමාජ පසුතලයක දී ‘වෙනස්වීම්’ අතීතයට වඩා සීඝ‍්‍රයෙන් වර්තමානයේ ක‍්‍රියාත්මක වේ. මිනිසුන් සහ මිනිස් ක‍්‍රියාවලීන්ගේ එකතුවක් ලෙස ‘සමාජය’ හඳුන්වනු ලැබුවහොත් එය නිරන්තරයෙන් වෙනස් වෙමින් පවතින බව ද පිළිගත යුතුය. මෙම වෙනස් වීම් පුද්ගල, ආර්ථික හා අධ්‍යාත්මික වශයෙන් ද සිතුම් පැතුම් සහ අගය කිරීම් අතින් ද සිදුවන බැවින් එම වෙනස් වීම් ස්ත‍්‍රී-පුරුෂ සමාජභාවය හරහා යහපත් ලෙසත් වඩාත් ම අයහපත් ලෙසත් ස්ත‍්‍රියට බෙහෙවින් බලපායි. ඇයගේ හිමිකම් හා සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී මෙම බලපෑම ඉතා සියුම් ලෙස හඳුනාගත යුතුය.

පැරණි භාරතීය සමාජය තුළ ස්තිී‍්‍රන්ට හිමි වූ වරප‍්‍රසාද පිළිබඳව කතා කිරීමේ දී බුදුරජාණන් වහන්සේ උපත ලැබූ ක‍්‍රි.පූ. හයවන සියවස පමණ වන විට ස්ති‍්‍රය සිටියේ සමාජයෙහි වරප‍්‍රසාද අහිමිව ගිය කොටසක් ලෙසටය. යුද්ධ හා සටන්වලින් පිරුණු එකල සමාජයට වැදගත් වූයේ පුතුන්ගේ අවශ්‍යතාව විනා, දූවරුන්ගේ වටිනාකම් නොවේ. ‘තෘෂ්ණම්හි දුහිතෘ’ යන සංකල්පයෙන් එකල සමාජය අදහස් කරන ලද්දේ දියණිය අවාසනාවන්තය යන හැඟීීමයි. ඒ අනුව ස්ති‍්‍රයට ස්වර්ගයට යා හැකි එක ම මාර්ගය වූයේ සැමියා සතුටු වන ලෙස පුතුන් බිහි කිරීමයි. ස්ති‍්‍රය සැමියාගේ දාසියක් බවට පත්ව සිටි අතර, යම් ලෙසකින් කුලීන ස්ත‍්‍රියක් කුලහීන පුරුෂයෙකු සමඟ එක්වුණහොත් ඇය බල්ලන් ලවා ඉරා මරා දැමිය යුතු යැයි ‘මනු’ නම් නීතිවේදියාගේ නීතිවල සඳහන් කර තිබීමෙන් භාරත ස්ති‍්‍රයට උරුම වූ කුරිරු ඉරණම පැහැදිලි වේ. එය පුරුෂාධිපත්‍යයේ උච්ඡුතම අවස්ථාවක් වශයෙන් හඳුනාගත හැකිය. ස්ත‍්‍රිය ළමා කාලයේ තම පියාටත්, තරුණ වියේදී තම සැමියාටත්, සැමියා මිය ගිය විට තම පුතුන්ටත් යටත් විය යුතුවාක් මෙන්ම කිසිදු දිනක ඇයට ස්වාධීනත්වයක් හිමි නොවේ. ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළ මානව හිතවාදී අදහස් පැතිර යාමෙන් පසු ස්ති‍්‍රයට සහනශීලී වූ ආකල්පයක් භාරත ජනයා අතර විකසිත විය. පුරුෂයාට පමණක් නොව ස්ත‍්‍රියට ද ඒ ඒ අවස්ථාවට උචිත වන සේ කටයුතු කිරීමේ හැකියාව නොඅඩුව ඇති බවත් ස්ත‍්‍රියට ද පණ්ඩිතයෙක් වීමේ හැකියාව නොඅඩුව ඇති බවත්, ‘ඉත්තිපි පණ්ඩිතා හෝති, තත්ථ තත්ථ විචක්ඛනා’ යන ලෙසින් පෙන්වා දුන්හ. උන්වහන්සේ ස්ත‍්‍රීන්ට තමාගේ ශාසනයේ මහනදම් පුරා රහත් බව වැනි උත්තරීතර තත්ත්වයන් ලබා ගැනීමට හැකි බව දේශනා කිරීමෙන් ස්ත‍්‍රියගේ බුද්ධිමත්භාවය සමාජයට අවබෝධ කර දී ඇත.

අතීතයේ වුව ද භාරත ස්ති‍්‍රයට වඩා ලාංකීය ස්තී‍්‍රන් ස්වාධීනත්වය අතින් ඉදිරියෙන් සිටි බව ඓතිහාසික තොරතුරු අනුව පෙනේ. මුල් යුගයේ සිට ම සිංහල ස්තී‍්‍රන් රාජ්‍ය පාලන කටයුතුවලට මැදිහත් වී ඇති බව පෙනෙන අතර ඔටුණු පලන් රැුජිණියන් සතර දෙනෙකු වූ බව සැලකිය යුතුය. අතීතයේ අප හඳුනන මුල් ම ස්ත‍්‍රිය වූ කුවේණිය ගෝත‍්‍රික ස්ත‍්‍රියක් වූ අතර, විදේශීය හැඩි දැඩි තරුණ පිරිසක් ඉදිරියේ නිර්භයව කටයුතු කිරීමෙන් ද ඇය තුළ තිබූ එඩිතර බව හා ස්වාධීන බව පැහැදිලි වේ. මහාවංශයට අනුව සැමියා තමාට ද්‍රෝහී වීමෙන් පසු දරු දෙදෙනාත් රැුගෙන මාළිගයෙන් පිටව යාමට තරම් හැකියාව තිබූ මෙම ස්ති‍්‍රය ඉතිහාසය විමසීමේ දී අපට අමතක කළ නොහැක.

භද්ධකච්ඡුායනා නම් වූ අපගේ ඉතිහාසයේ හමුවන ශාක්‍ය වංශික කුමරිය, පියාගේ නියමය අනුව තවත් ස්තී‍්‍රන් සමඟ ලංකාවට පැමිණ ශ‍්‍රී ලංකාවේ පළමු රජු ලෙස සැලකෙන පඬුවස්දෙව් රජුගේ අග බිසව බවට පත්වූවාය. භද්ධකච්ඡුයනා මෙන්ම අතිශය රූමත් වූ ඇයගේ එක ම දියණිය වූ උන්මාද චිත‍්‍රා කුමරිය පිළිබඳව දෛවඥයින් කියූ අනාවැකියක් අනුව දියණිය එක්ටැම් ගෙයක තනි කිරීමට මවක් ලෙස ඕ අකමැති වූවාය. තම දියණියගේ දරුවා මාළිගයෙන් පිටමන් කිරීමට ඇය උදව් දුන් බවත්, එය ස්ත‍්‍රියක් වශයෙන් ගත් එඩිතර පියවරක් බවත් අපට සැලකිය හැකිය.

බුදු දහම ශී‍්‍ර ලංකාවට පැමිණීමට පෙර සිට ම ශී‍්‍ර ලංකාවේ ස්තී‍්‍රන් යම්කිසි ස්වාධීන ශක්තියකින් කටයුතු කළ බවට තවත් උදාහරණ ඇත. පණ්ඩුකාභය රජුගේ බිසව වූ ස්වර්ණපාලී අවුරුදු 10කට වැඩි කාලයක් අරාජිකව තිබූ අනුරාධපුර රාජධානිය ගොඩනැගීමට උදව් කළ බවද මහාවංශයෙන් පෙනේ. බුද්ධිය අතින් ද ස්තී‍්‍රන් ඉහළ තැනක සිටි බවට ඉතිහාස සාක්‍ෂියක් ලෙස මහානාග යුව රජුගේ බිසව වන අනුලා දේවිය මිහිඳු හිමියන් ශ‍්‍රී ලංකාවට වැඩම කළ විට 500ක් ස්ත‍්‍රීන් සමඟ ධර්මශ‍්‍රවණය කොට මාර්ගඵලයට පත්වීම දැක්විය හැකිය. පසුව ඇය මෙහෙණි සස්න ඇති කිරීමට ද පුරෝගාමී වී ඇත.

එතැන් සිට ද ශී‍්‍ර ලාංකික ඉතිහාසයේ බෞද්ධ පසුබිමක පිහිටා කටයුතු කළ ස්තී‍්‍ර වීරවරියන් හමු වේ. ගැමුණු කුමරුගේ මව ලෙස රට දැය වෙනුවෙන් පෙරට ආ විහාර මහා දේවිය, වළගම්බා රජුට පැන යාමට දී සතුරන් අතට පත් වූ එඩිතර භාර්යාවක් ලෙස කීර්තියට පත් සෝමා දේවිය වැනි තවත් අය වෙති.

බුද්ධියෙන්, ශක්තියෙන්, එඩිතර බවෙන්, ඥාණයෙන්, පෞරුෂත්වයෙන් පිරිපුන්ව රට පාලනයට රජවරුන්ට සහාය වූ, රට පාලනය කළා වූ බිසෝවරුන්, රැුජිනියන් එම ඉතිහාස කතා අතර අපට හමු වේ. පසු කාලයේ හමුවන එම ඉහළ පෙළේ ස්තී‍්‍ර චරිත බෞද්ධ පසුබිමක් යටතේ කි‍්‍රයාත්මක වූ අය වෙති. බුද්ධ කාලීන භාරත ස්තී‍්‍රන්ගේ ඉතිහාස කතාවලට වඩා වැඩි බලයක්, ශක්තියක්, බුද්ධිමත් බවක් ඔවුන්ගෙන් පැහැදිලිය.

21 වන සියවසට පා තබා ඇති අවස්ථාවක ශ‍්‍රී ලාංකික ස්තී‍්‍රන් පරිපාලන, වෛද්‍ය, නීති කළමනාකරණ වැනි ක්ෂේත‍්‍රවල ඉහළ මට්ටමේ තනතුරුවල සාර්ථක දායකත්වයක් පෙන්නුම් කර ඇත. 1971 සිට මේ දක්වා 300%ක් පමණ දක්වා මෙම තත්ත්වය වර්ධනය වී ඇති බව වාර්තා අනුව පෙනේ. සමාන සේවාවන්හි පුරුෂ පක්ෂයේ සේවා නියුතුව හා සම කරන විට මෙය ඉතා වැඩි වර්ධනයක් බව පිළිගැනීමට සිදුවේ. එමෙන්ම ශ‍්‍රී ලාංකික ස්ත‍්‍රීන්ගේ අකුරු කියවීම හා ලිවීමට ඇති හැකියාව 1981 දී 8.32%ක්ව තිබී 1994 87.9%ක් ලෙස සහ 1996/1997 වර්ෂවල දී 89.4%ක් දක්වා ඉහළ දත්තයකට ළඟාවීම පුරුෂ පක්ෂයේ සාක්ෂරතා වැඩිවීමේ වේගයට වඩා වැඩි බවත්, මහා බි‍්‍රතාන්‍ය වැනි දියුණු රටවල ස්ත‍්‍රී සාක්ෂරතා වර්ධන වේගයට වඩා වැඩි බවත් පෙනේ. මෙයින් වුවද පෙනී යන්නේ ශ‍්‍රී ලාංකික ස්ත‍්‍රීන්ගේ හැකියාවන් සාපේක්ෂව ඉහළ තලයක ඇති බවයි. විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප‍්‍රජාවගෙන් 75% ශිෂ්‍යයාවන් වන අතර, (කලා පීඨයේ) ප‍්‍රාදේශීය ලේකම් තනතුරු වැනි ඉහළ තලයේ (තමා විසින් ම දක්ෂකමින් ලබා ගන්නා තනතුරුවල) 50%ක් පමණ ම ස්තී‍්‍රන් ය.
මේ සියලූ සාධක තිබිය දී වුව ද ශ‍්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත‍්‍රයේ ස්ත‍්‍රී නියෝජනය අඩුවීමක් පැහැදිලිව පෙන්නුම් කරන අතර, එය පාර්ලිමේන්තුව තුළ 4.5% පමණ අඩු මට්ටමකින් පැවතීම දකුණු ආසියාතික රටවල් හා සම කරන කල ඉතාම අසතුටුදායක තත්ත්වයකි.

අද වන විට සමාජය තුළ ඉහළ වර්ධනයක් කරා ළඟා වී ඇති මෙම ස්තී‍්‍රන් සියලූම ආගම්වලට අයත් ස්තී‍්‍රන් වීම විශේෂය.

මෙසේ වෙනස් වෙමින් පවතින සමාජය තුළ විවිධ ක්ෂේත‍්‍රවල වැඩි වගකීම් සහිත තනතුරු ඇය දරන්නේ වුවත් ඇය ලබා ගත් හිමිකම්වලට සරිලන අන්දමට සිතුම් පැතුම් වෙනස් කර ගැනීමට වර්තමාන සමාජය තවමත් සූදානම් වී නොතිබීම කණගාටුවට කරුණකි. ගඓතිහාසික ස්ති‍්‍රය හා සම කරන කල ලෝකයාට විවෘත වූ සේවාවන්වල ද එනම්, මැද පෙරදිග රැකියා හා ඇඟලූම් කම්හල් ක්ෂේත‍්‍රයේ වැඩි වෘත්තීයමය ඉඩකඩ ඇය ලබා ගෙන ඇතත් එම ක්ෂේත‍්‍රවල ඇති ස්ත‍්‍රී වරප‍්‍රසාද අහිමි වීම සහ ස්ත‍්‍රී ප‍්‍රචණ්ඩත්වය හේතුවෙන් ස්ති‍්‍රය පිළිබඳ අවතක්සේරුවක් ද සමාජය තුළ ඇතිවීම කණගාටුවට කරුණකි.

ශ‍්‍රී ලාංකීය සම්ප‍්‍රදාය තුළ ස්තී‍්‍රන්ට හිමි වූ ගරුත්වයත්, වගකීමත්, පවුලේ මූලිකත්වයත් සාධනීය කරුණුවලට බෙහෙවින් බලපා ඇති බව කිව හැකිය. එමෙන්ම දේශපාලන ක්ෂේත‍්‍රයේ ස්තී‍්‍ර දායකත්වය අඩුවීමට ස්තී‍්‍රන්ට වෙනස් ආකාරයේ සැලකීම්, දේශපාලන ක්ෂේත‍්‍රය තුළ ඇති විනය විරෝධී ස්වභාවයන් හා සියලූ ආගම් අභිබවා සමාජය තුළ ඇති ප‍්‍රචණ්ඩත්වය මෙන්ම මූල්‍යමය සාධක ද බෙහෙවින් බලපා ඇති බව පෙනේ.

වික්ටෝරියානු ගති සිරිත් මත අතීත හර පද්ධතීන් බිඳවැටුණු අතර, නවීන සමාජය තුළ ඇති විවෘත වීම් හරහා ඇගේ හිමිකම් තවදුරටත් වර්ධනය වනු වෙනුවට සමාජයේ නොතකා හැරීම හා ඕනෑම ස්ථානයක ප‍්‍රචණ්ඩ බිහිසුණු අතවරවලට ලක්වීම හා ඒවා කවුරුන් හෝ ආවරණය කිරීම නම් කිසිසේත් සාධාරණ නොවේ.

බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුව තම කෙස්වැටිය තුළ සඟවා ගෙන ආ හේමමාලි කුමරියගේ හා ජයශ‍්‍රී මහ බෝධි ශාඛාව ලංකාවට ගෙන ආ සංඝමිත්තා තෙරණියගේ පරපුරේ ස්තී‍්‍රන්ට මේ දක්වා භික්ෂුණී ශාසනයක් නැත. බුද්ධ ශාසනය භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව් පිරිසෙන් ම සැදුම් ලද්දකි. බුදු සසුන සම්පූර්ණ වන්නේ මේ සිව්වනක් පිරිස එක් වූ විටය. බුදුරජාණන් වහන්සේ භික්ෂුණී සසුනක් පිළිබඳව මුලින් ම අකමැත්තක් දැක්වූ ද ආනන්ද තෙරුන් වහන්සේ හා ප‍්‍රජාපති ගෝතමියගේ උත්සාහය මත එය සාර්ථක ලෙස ඇති කර පසුව දියුණුවට පත් විය. අංගුත්තර නිකායෙහි ඒකදග්ර පාළියෙහි අග‍්‍රස්ථාන ලැබූ තෙරණින් වහන්සේලා කීප දෙනෙකු ගැන ම සඳහන් වන අතර, විනයධර, බහුශ‍්‍රැත, ප‍්‍රඥාවන්ත භික්ෂුණීන් බොහෝ දෙනෙක් ගැන ති‍්‍රපිටක ග‍්‍රන්ථ තුළින් පැහැදිලි වේ.

සියලූ තැන්හි පුරුෂයින් පමණක් නොව, ස්ත‍්‍රිය ද පණ්ඩිත වන බවත්, පුරුෂයින් අභිබවා ස්ථානෝචිත ක‍්‍රියා කරන බවත්, බුද්ධ දේශනාවේ සඳහන් වන අතර, සමස්ත මානව ප‍්‍රජාවට ම ඇතුළත් විය හැකි පරිදි මුළුමනින් විවෘත වූ බුද්ධ ශාසනය යම් යම් පටු සීමාවන්හි තැබීමට සමහර දෙනෙකු උත්සාහ දැරීම කණගාටුදායකය. ආදි කාලීන සමාජයේ ස්ත‍්‍රිය සම්බන්ධව තිබූ කෲර, මිලේච්ඡු සංකල්පයන් සුණුවිසුණු කර සමාන අයිතීන් හා බලය ඇති බවට ප‍්‍රථමයෙන් අභීතව දෙසූ බෞද්ධ දර්ශනයේ හරය අගයන සමාජයක් එදාටත් වඩා අද අත්‍යවශ්‍යව ද පවතී.

ජයන්තා රුක්මණී සිරිවර්ධන

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s