සුනිලා සැබෑ කලාකාරිනියක් – සංස්කෘතික මනුෂ්‍යයෙක්

Sunila-Dharmasiri 1 (2)

මම ළමා කාලේ හොඳ චිත‍්‍රපට බලන්න ආසාවෙන් ඉන්න කාලේ බලපු චිත‍්‍රපටයක මම මගේ වයසේ අමුතු කෙල්ලක් දුටුවා. චිත‍්‍රපටය ‘දෙලොවක් අතර’. මම දැක්ක කෙල්ල තමයි සුනිලා. ඒ 1966. එවැනි චිත‍්‍රපටයක ර`ගපාන්න ඇයට වරම් ලැබීම මොන තරම් වාසනාවක් ද කියල මට හිතෙනවා. ආපහු ‘ගොඵ හදවත’ බලන වෙලාවෙත් සුනිලාව තිරෙන් අපි දුටුවා. ඒකත් ලෙස්ටර්ගෙ චිත‍්‍රපටයක්. ඒ 1969. මමත් චිත‍්‍රපට න`ඵවෙක් වුණේ 1969 ‘බක්මහ දීගෙන්.’

සුනිලා අබේසේකර පාසැල් වියේ අපේ මතකයේ රැදුන අපූරු කෙල්ලක්. 70 පමණ වන විට ඇයගේ පියා චාල්ස් අබේසේකරයන් වානේ සංස්ථාවේ සභාපති වශයෙන් අපි හ`දුනාගත්තත් ඔහු නාට්‍ය විචාරකයෙක් වශයෙනුත්, පසුව නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති වශයෙනුත් අපි හඳුනාගත්තා. අළුත් නාට්‍යයක් බලන්න අපි ලූම්බිණියට ගිය හැම දවසකම වගේ සුනිලාගේ තාත්තාත් සමග තවත් ප‍්‍රබුද්ධ විචාරකයෙක් අපි දුටුවා. ඒ රෙජී සිරිවර්ධනයන්. ඇගේ අම්මා ටියුරින් අබේසේකර මහත්මියත් හැමදාම නාට්‍ය ශාලාවේ දී නාට්‍ය බලන්න එනවා අපි දකිනවා. මම හිතන්නේ අපි වගේ නෙමෙයි සුනිලා හැදුණේ වැඩුණේ කලාකාමී පරිසරයක. ඇය ද්වි භාෂික අධ්‍යාපනයේ උරුමක්කාරියක්. ඇගේ පවුල් පරිසරයත්, ඇගේ අධ්‍යාපනික නිකේතනයත්, ඇයට මේ කලාත්මක බුද්ධි කලම්බනයට තදින් බලපෑවා.

මම සුනිලාව වේදිකාවෙදි දැන හඳුනාගත්තේ හෙන්රි ජයසේනයන් නිසා. හෙන්රිගේ ‘දිරිය මව සහ ඇගේ දරුවෝ’ නාට්‍යය 1972 වේදිකා ගත වුණා. හුණුවටයේ බලපු අපි දිරිය මව බලන්න ගියේ පුදුම ආශාවකින්. හෙන්රි ජයසේන අසඩක්ට පස්සේ ඒ නාට්‍යයේ ර`ගපෑවා. ආපහු අපිට සුනිලාව Sunila-Dharmasiri 2මේ නාට්‍යයේ දකින්න ලැබුණා. සුනිලා ර`ගපෑවේ එකම දෙබසක්වක් කතා නොකළ චරිතයක්. මොකද ඈ ර`ගපෑවේ ගොඵ කෙල්ලකගේ චරිතයක් නිසා. අතින් පයින්, මුහුණෙන් කරන සංඥා පමණක්, ඇය ඉතා හො`දින් නිරූපණය කරපු අයුරු තවමත් මගේ මතකයේ රැදී තිබෙනවා. නාට්‍යය අවසානයේ වහලක් උඩ නැගී සිටිය දී ඇය වෙඩි පහරකින්දෝ මිය ගොසින් ඇද වැටුණා මට මතකයි.

මීළ`ගට මට සුනිලා දැක ගන්න ලැබුණේ හෙන්රි මාව ‘මකරා’ නාට්‍යයට තෝරා ගත්තාට පසුව දවසක් දා හවස්වරුවක වැඩ ඇරිලා කොල්ලූපිටියේ චිත‍්‍රසේන කලායතනයේ පුහුණුවට ගිය විටෙකයි. මාව ලාන්ස්ලොට් චරිතෙට තෝරාගත්තට ඒ චරිතෙ ස`දහා තවත් කඩවසම් න`ඵවෙක් පුහුණුවීමෙහි යෙදුණා. අසා දැන ගත් පරිදි ඒ නිශ්ශංක දිද්දෙනියයි. මම ‘සිංහබාහු’ නාට්‍යය දැක නොතිබුණු නිසා නිශ්ශංකව දැන සිටියේ නැහැ. ලාන්ස්ලෝට් මකරට එලිසව බිල්ලට ගන්න ඉඩ දෙන්නෙ නැහැ. ඇයව බේරා ගන්නවා. අපි පුහුණුවීම් කළා. සුනිලා ඒ චරිතය හොඳට ර`ගපෑවා. පුහුණුවීම් අවසානයේ නිශ්ශංකට වඩා මම ඒ චරිතය හොඳින් කරන බව පැවසූ හෙන්රි ඒ චරිතයේ අයිතිය මට සින්නක්කර පැවරුවා. ඒකෙන් එලිසා බේරාගත්තු මම මකරා මැරූ වීරයා ලෙසට හෙන්රි මාව වේදිකාවේ අභිෂේක කෙරුවා. බොහෝ අයගේ සිත් ගත් ජවනිකාවක් තමයි මකරා නාට්‍යයේ ලාන්ස්ලොට් එලිසාව සිප වැළ`ද ගන්නා ජවනිකාව. අපි දෙන්නා ඉතා ම හොඳින් ඒක කළා කියල හෙන්රි කිව්වා. මං කසාද බැන්දට පස්සෙ මුලින් ම මම සිප වැළඳගත්තෙ සුනිලව කිව්වට ඒකෙත් වැරැුද්දක් නැහැ. ඒත් ඒ ‘මකරා’ නාට්‍යයෙදී විතරයි. දර්ශන සියයක් පමණ අපි සතුටෙන් රඟපෑවා.

මකරා කරන කාලේ සුනිලා දේශපාලන කණ්ඩායම් සමගත් සමීපව වැඩ කළා. ජනතා විමුක්ති පෙරමුණේ විමුක්ති ගීවල දී සුනිලා ගායනාවලට සම්බන්ධ වුණා. කපුගේත් ඒ අතර හිටියා. මකරා කරන කාලෙ සුනිලා වැඩි වශයෙන් ඇසුරු කළ කණ්ඩායම් අතරේ ගාමිණී හත්තෙට්ටුවේගම, සරච්චන්ද්‍ර සමරක්කොඩි, විමල් කුමාර ද කොස්තා, ඩබ්ලිව්. ජයසිරි, ධර්මසේන පතිරාජ, විජය කුමාරණතුංග නිතර දකින්න ලැබුණා. ඒ හැම වෙලාවෙ ම සුනිලාව මම දැක්කෙ හරි සැහැල්ලූවෙන් ජීවත් වෙන කෙල්ලක් විදියටයි.Sunila-Dharmasiri 4

ඊට පස්සෙ සුනිලා වේදිකාවෙ දකින්න ලැබුණේ 80 දශකයේ රංජිත් ධර්මකීර්තිගේ ‘අංගාරා ගග ගලා බසී’ සහ ‘මෝදර මෝල’ කියන නාට්‍ය දෙකෙන්. ගායන වෘන්දය සමග ගායනා කරමින් ඇය රංගනයේ යෙදුණා අංගාරා නාට්‍යයයේ. ඇගේ මියුරු හඩ අපට සොයා දුන්නේ සංගීතඥ පේ‍්‍රමසිරි කේමදාසයන්. ඊට පෙරාතුව කේමදාසයන් ඇයව 1978 දී ධර්මසේන පතිරාජයන්ගේ ‘බඹරු ඇවිත්’ චිත‍්‍රපටයේ ඩබ්ලිව්. ජයසිරි ලියපු හඳුනාගත්තොත් ඔබ මා ගීතය ගායනයට යොදා ගත්තා. ඒ මියුරු හඩ අද දක්වා ම අපිට ඇහෙනවා. මම 1979 ‘හංස විලක්’ චිත‍්‍රපටයෙ ධර්මසේන පතිරාජයන් ලියපු ‘හෙමින් සැරේ පියා විදා’ ගීතය පටි ගත කරන්න සූදානම් වෙද්දි මාස්ටර්ගෙන් ඇහුවා මාස්ටර් මේ ගීතය ගායනයට අපි කාවද යොදා ගන්නෙ කියලා. මාස්ටර් ගත් කටට ම කිව්වෙ මේකට අපි දාමු සුනිලවයි ටී.එම්වයි කියලා. අද දක්වාම මේ ගීතය පි‍්‍රය කරන හැම කෙනෙක් ම චිත‍්‍රපටය වගේ ම මේ ගීතයත් පි‍්‍රය කරනව. සුනිලා මේ ගීත තුළ හැමදා ම ජීවත් වෙනවා. මම හිතන හැටියට සුනිලාගේ ජීවිතයේ අවිවේකී බව නිසා ඇය වේදිකාවෙන්, සිනමාවෙන් සමුගත්තා කියලයි. ඇය නිහාල් ප‍්‍රනාන්දුගේ ‘අමාන්තය’ චිත‍්‍රපටයෙන් පස්සෙ අපිට දකින්න ලැබුණේ නැහැ කියලයි මම හිතන්නේ.

ඒත් ඇයගේ ජීවිතයෙන් කලා රසිකාවියකගේ සිතිවිලි ගිලිහිලා ගියේ නැහැ. ඇය අමාරුවෙන් ඒක රැුක ගත්තා. ලැබෙන හැම හෝරාවක දීම විශිෂ්ඨ සිනමා කෘති නැරඹීමට ඇය පි‍්‍රය කළා. ඒවා ගැන කතා කරන්නට ඇය පි‍්‍රය කළා. දේශ දේශාන්තර ගවේෂණයේ දී ඇය සිනමාහල, නාට්‍යාගාරය අත්හලේ නැහැ. හැකි හැම මොහොතක දීම ඇය ඇගේ සංස්කෘතික ජීවිතය වඩ වඩාත් පොහොසත් කර ගත්තා.Sunila-Dharmasiri 5

අපේ සිනමාකරුවන් බොහෝ දෙනෙක් තමන්ගේ චිත‍්‍රපට විදේශගත කිරීමේ දී උප ශීර්ෂ පාඨ යොදා ගැනීමට ඇගේ පිහිට පැතුවා. ඉතා ගැඹුරින් කියැවුණ දෙබස ඉතා කෙටියෙන් ඉංගිරිසියට නගන්නට ඇය තුළ පැවැති දැනුම අද්විතීයයි. ඇය ලියූ දෙයක් තව කෙනෙක් ලවා වෙනස් කරන්නට උවමනා වුණේ නැහැ. මගේ චිත‍්‍රපට සියල්ලේ ම උප ශීර්ෂ පාඨ ලියැවුණේ ඇගේ අතින් බව මම පවසන්නේ ඇයට ප‍්‍රණාමයක් ලෙසයි. අවාසනාවකටදෝ මහන්සි වෙලා උප ශීර්ෂ පාඨ යොදාගත්තට, මගේ චිත‍්‍රපට මං වගේ ම මේ රටේ පමණක් නතර වුණා. හංසවිලට ඇය ලියූ ‘සෙහෙහස පුපුරා මිය ගිය සිහිනය’ නම් පාඨයට සමස්ත චිත‍්‍රපටයේ මුඛ්‍යාර්ථය ම ලඝු කර දක්වන්නට ඇය සමත් වුණා.

මකරා නාට්‍ය යළිත් මට සිහිපත් වෙනවා. නාට්‍ය හැදූ හෙන්රි අපට අහිමි වුණේ පිළිකා රෝගයෙන්. මම මකරා මරපු නාට්‍යයේ වීර ලාන්ස්ලෝට් වුණාට ඇත්ත ජීවිතේ දී හෙන්රි මුදවා ගන්නට අපිට හැකි වුණේ නැහැ. එලිසාව බිල්ලෙන් මුදවා ගත්තේ ලාන්ස්ලෝට්. නමුත් ඇත්ත ජීවිතයෙන් සමු ගන්නා වෙලාවේ සුනිලා බේරාගන්න අපිට හැකි වුණේ නැහැ. මගේ ‘මකරාක්ෂයා’ නාට්‍යයේ එලිසා විදියට රගපෑවේ ස්වර්ණා මල්ලවාරච්චි. අද ඇයත් පිළිකා රෝගයෙන් පෙළෙනවා. ඇය එම රෝගයෙන් මිදෙන්නට ඇගේ ශක්තියෙන් ඇය දැන් පොර බදනවා. නාට්‍යයේ ලාන්ස්ලොට් එලීසා බේරා ගත්තට ඇයව බේරා ගන්න ඇත්ත ජීවිතයේ මට බැහැ. ස්වර්ණා නාට්‍යයෙන් සමුගත්තා. මම ස්වර්ණා වෙනුවට රමණී බර්තොලමියුස් එලීසා බවට පත් කළා. ඇය සදහට ම ජීවිතයෙන් සමුගත්තා. ඇයව බේරා ගන්න මගේ සැබෑ ජීවිතයෙන් මට පුඵවන් කමක් තිබුණේ නැහැ. කලාත්මක ජීවිතය කොච්චර සුන්දර වූණත් අපේ ඇත්ත ජීවිතේ මොන තරම් ඛේදනීයද?

Sunila-Dharmasiri 6කලාත්මක ලෝකයේ සැරි සරපු සුනිලා, පසුගියදා අවසාන වරට අසනීපයෙන් ලංකාවට පැමිණි වෙලාවේ කියූ වදනක් මේ සියලූම සත්‍ය කැටි කොට ඇය මට කිව්වා කියලා මට හිතෙනවා. මම දැන් ඉස්සර සුනිලා නෙමෙයි ධර්මසිරි, මම දැන් හරියට බුද්ධාගම විශ්වාස කරනවා. ජිවිතයේ අවසාන පිය ගැට පෙළට පිවිස ඇය කියූ ඒ වදන මම යළි යළිත් සිහිපත් කරනවා.

මම අවසාන වශයෙන් සඳහන් කරන්නේ සුනිලා සැබැවින් ම කලාකාරියක්. සංස්කෘතික මනුෂ්‍යයෙක්. එයින් ලැබූ පන්නරයෙන් තමා ඇය මානව හිමිකම් කි‍්‍රයාකාරිනියක් බවට පත් වුණේ. ස්තී‍්‍ර විමුක්තිකාමිණියක් බවට පත් වුණේ. විප්ලවීය වෙනසක් සමාජය තුළ ඇති කරන්නට කි‍්‍රයාකාරිනියක් බවට පත් වුණේ. උත්තම කලාව අගය කළ ඇය කලා කෘතින් තුළින් තම ජීවිතයට ආලෝකයක් ලබා ගෙන එය කි‍්‍රයාවට නැගුවා. ඇගේ ප‍්‍රකාශනය ශ්‍රේෂ්ඨයි.

ඇය දැල්වූ පහන් නොනිමී දැල්වේවා. මගේ ප‍්‍රාර්ථනාවයි ඒ.

ධර්මසිරි බණ්ඩාරනායක
සුනිලා තෙමස් සමරු උත්සවයේ දී කළ දේශනය ඇසුරින් සැකසුණි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s