අවිධිමත් ක්‍ෂේත‍්‍රයේ කාන්තා ශ‍්‍රමයට බලපාන විධිමත් අභියෝග

Seetha Ranjani - 3ශ‍්‍රී ලංකා ශ‍්‍රමබල සමීක්‍ෂණ 2012 වාර්ෂික දත්ත ප‍්‍රකාශන වාර්තාවට අනුව, 2011 වසරේ ශී‍්‍ර ලංකාවේ සාක්‍ෂරතාව හෙවත් අකුරු ලියන්නට කියවන්නට දන්නා සංඛ්‍යාව මුළු ජනගහනයෙන් සියයට අනූ දෙකයි දශම දෙකකි. (92.2%) එම සමස්තය අතරින් පුරුෂයින්ගේ සාක්‍ෂරතාව 93.5% ක් වන අතර ස්තී‍්‍රන්ගේ සාක්‍ෂරතාව 91.1% කි. මෙම තත්ත්වය නාගරික, ග‍්‍රාමීය වශයෙන් මෙන්ම ඒ ඒ ප‍්‍රදේශ වශයෙන් ද වෙනස්කම්වලට ලක්වේ. කෙසේ වුවත් ශී‍්‍ර ලංකාවේ සාක්‍ෂරතාව සම්බන්ධයෙන් මෙවැනි පූර්විකාවක් කරන ලද්දේ අවිධිමත් ක්‍ෂේත‍්‍රයේ රැුකියාවල නියුතු ජනගහනයෙන් බහුතරය අඩු අධ්‍යාපනයක් ඇති අය බව එම වාර්තාවෙන්ම පෙන්වා දෙන නිසාය. එමෙන්ම ආර්ථික වශයෙන් කි‍්‍රයාශීලී ජනගහනයෙන් වැඩිම ජන ප‍්‍රතිශතය අයත් වන්නේ අවිධිමත් ක්‍ෂේත‍්‍රයේ රැකියා කරන්නන්ගේ ගොඩටය. පවුලේ ජීවත් වීම වෙනුවෙන් එනම් රටේ ආර්ථිකයට දායක වන ප‍්‍රමාණය රටේ සමස්ත ජනගහනයෙන් මිලියන 8.6කි. එම ප‍්‍රමාණය ආර්ථික වශයෙන් කි‍්‍රයාශීලී ජනගහනය වශයෙන් හැඳින්වේ. එයින් විධිමත් ක්‍ෂේත‍්‍රයේ රැකියාවල යෙදී ඇති ජන ප‍්‍රතිශතය 37.3% කි. අවිධිමත් ක්‍ෂේත‍්‍රයේ රැුකියා නියුක්තිය සියයට 62.7% කි. මෙම දත්ත විශ්ලේෂණය විග‍්‍රහ කරන කෙනෙකුට ශී‍්‍ර ලංකාවේ සාක්‍ෂරතාවේ ප‍්‍රමිතිය පිළිබඳ අදහසක් ලබා ගැනීමට හැකි වන අතර අප මෙම තර්කය ප‍්‍රධාන වශයෙන් ගොඩ නගන ලද්දේ ශී‍්‍ර ලංකාවේ අවිධිමත් ක්‍ෂේත‍්‍රයේ රැකියා නියුක්තිකයන්ගේ තත්ත්වය පිළිබඳ චිත‍්‍රයක් ගොඩ නැගීමටය.

ශ‍්‍රමබල සමීක්‍ෂණය අනුව ආර්ථික වශයෙන් කි‍්‍රයාශීලී අය ලෙස ගණන් ගෙන ඇත්තේ වයස 10 ට වැඩි ජනගහනයයි. වයස 10 ට වැඩි පූර්ණ කාලීන ශිෂ්‍යයන්, පූර්ණ කාලීන ගෘහණියන්, විශ‍්‍රාමික හෝ වයස්ගත පුද්ගලයන්, අබාධිත පුද්ගලයන් ආර්ථික වශයෙන් කි‍්‍රයාශීලී නොවන අය වශයෙන් ගණන් ගැනේ. එම නිර්වචනය අනුව පාසල් නොයන, වයස 10ට වැඩි දරුවන් ද ආර්ථික වශයෙන් කි‍්‍රයාශීලී කොටසට වැටේ. ළමා වයස අනිවාර්යයෙන් ම දරුවා අධ්‍යාපනය ලැබිය යුතු වයස ලෙස සියලූ අයිතිවාසිකම් ප‍්‍රතිපාදන අනුව නිර්වචනය වී තිබුණ ද පාසල් නොයන අය ප‍්‍රතිපත්තිමය වශයෙන් ආර්ථික වශයෙන් කි‍්‍රයාශීලී ජනගහනයට ද අයත් කොට තිබීම වෙනම සැලකිල්ලට ගත යුතු කාරණයකි. කෙසේ වුවත්, ආර්ථික වශයෙන් කි‍්‍රයාශීලී ජනගහනයෙන් වැඩි ප‍්‍රතිශතය දැක්වෙන අවිධිමත් ක්‍ෂේත‍්‍රයේ වැඩ කරන ස්තී‍්‍රන්ගේ තත්ත්වය පිළිබඳ අදහසක් ලබා ගැනීමට මෙහි දී උත්සාහ කෙරේ. ආර්ථික වශයෙන් කි‍්‍රයාශීලී ස්තී‍්‍ර ප‍්‍රතිශතයෙන් 57%ක් අවිධිමිත් ක්‍ෂේත‍්‍රයේ රැුකියාවල නියුක්තව සිටින බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. ඒ අනුව ආර්ථික වශයෙන් කි‍්‍රයාශීලී, නැතහොත් ජීවත් වීම සඳහා වැඩ කරන ස්තී‍්‍රන්ගෙන් බහුතරය එක් අතකින් රැකියා සුරක්‍ෂිතභාවයක් නොමැති අය බව වටහා ගත හැකිය.

කෘෂි කාර්මික ක්‍ෂේත‍්‍රයේ රැුකියා කරන ජනගහනයේ බහුතරය, එනම් සියයට 86.6ක් (86.6%) අවිධිමත් ක්‍ෂේත‍්‍රයට වැටේ. එම ක්‍ෂේත‍්‍රයේ ස්තී‍්‍රන් වැටුප් අසමතාවේ සිට වෙනස්කම්වලට ලක්වන ආකාරයත් අවිනිශ්චිතතාව නිසා ජීවත් වීමේ අභියෝගවලට ලක්වන ආකාරයත්, අනාරක්‍ෂිත සෞඛ්‍ය ගැටළුවලට මුහුණ දෙන ආකාරයත් ඉතිහාසය පුරා කතිකාවන්ට බඳුන් වී ඇත. එමෙන්ම කෘෂිකාර්මික නොවන අනෙකුත් ක්‍ෂේත‍්‍රවල ද රැුකියා කරන ප‍්‍රතිශතයෙන් සියයට 50.9 ම (50.9%) අවිධිමත් ක්‍ෂේත‍්‍රයේ රැුකියා කරන්නවුන් ය. මෙම ක්‍ෂේත‍්‍රයේ නුපුහුණු ශ‍්‍රමිකයන් මෙන්ම අයිතිකරුවන්, කළමනාකරුවන්, මෙන්ම පුහුණු ශිල්පීය ශ‍්‍රමිකයෝ ද ස්තී‍්‍ර පුරුෂ දෙපාර්ශ්වයෙන් ම සිටිති. මෙම ක්‍ෂේත‍්‍රයේ නුපුහුණු හා සුළු සේවකයින් වශයෙන් වැඩ කරන ප‍්‍රමාණය විශාලය. 2011 වසරේ වාර්තා වී ඇති 1691918ක ප‍්‍රමාණයෙන් බහුතරය, එනම් 1048622ක ප‍්‍රමාණය ස්තී‍්‍රන් ය.

අවිධිමත් ක්‍ෂේත‍්‍රයේ රැකියා කරන ස්තී‍්‍ර පුරුෂ බහුතරයේ පොදු ප‍්‍රශ්නය ඔවුන්ගේ රැකියා සුරක්‍ෂිත නොවීමයි. සමහර විට බහුතරය එදිනෙදා උපයන දේ මත යැපේ. කාලගුණය හෝ ස්වභාවික වෙනස්කම්වලට පවා ඔවුන්ගේ එදිනෙදා යැපීමට අභියෝග කළ හැකිය. ශාරීරික හෝ මානුෂීය හෝ සෞඛ්‍ය හෝ ගැටළුවලට පිහිටක් නැත. රැකියා අවදානම නිසා මුහුණ දෙන ගැටළුවලට ද විසඳුම් නැත. රැකියා කළ නොහැකි වූ තත්ත්වයට පත් වූ විට ලැබෙන විශ‍්‍රාම වැටුප් හෝ අර්ථ සාධක අරමුදලක් හෝ නැත.

රාජ්‍ය අංශයේ මැදිහත් වීම සහිතව රැකියා උත්පාදනය වී ඇති ක්‍ෂේත‍්‍රවල ශ‍්‍රම හමුදාවන් ද මෙවැනි අවිනිශ්චිත හා අවදානම් තත්ත්වයකට මුහණ දී සිටීම සලකා බැලිය යුතුය. එයින් විශාල ම අවිධිමත් ශ‍්‍රම හමුදාවක් වන විදේශගතව ගෘහ සේවය කරන ගෘහණියන්, ස්තී‍්‍රන් වීම නිසා ම මුහුණ දෙන අභියෝගයන් සමාජය තුළ ඉතා ම ප‍්‍රබල ලෙස කතිකාවට බඳුන් වී ඇත. බොහෝ විට අඩු සාක්‍ෂරතාවයකින් ද යුතු මෙම ශ‍්‍රම හමුදාව රටේ ප‍්‍රධානතම විදේශ විනිමය උපයන්නන් ලෙස හුවා දැක්වේ. එම අදායම පසුගිය වසරේ රුපියල් බිලියන 6ක් බව අය වැය ඉදිරිපත් කිරීමේ දී ද වාර්තා විය. එම අදායම බිලියන 10 දක්වා වැඩි කිරීමට කටයුතු කරන බවට පුරසාරම් දෙඩුව ද විශේෂ වශයෙන් එම ආදායමේ ප‍්‍රබල ම දායකයන් වී ඇති විදේශගත ස්තී‍්‍ර ශ‍්‍රමිකයන්ගේ ජීවිතවලින් වන්දි ගෙවන්නට පවා සිදුවන ගැටළු විසඳීමට රජයක් විසින් මැදිහත් වීමක් සිදු වන්නේ නැත. ඔවුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන්වත් රජයන් අතර සම්මුතීන් ඇති කර ගැනීමට ශී‍්‍ර ලංකාව කටයුතු නොකිරීමේ නොසැලකිලිමත් බව පසුගිය කාලය පුරා කතිකාවට ගැනුණි. විශේෂයෙන් ගෘහ සේවිකාවන්ගේ රැකියා සුරක්‍ෂිතභාවය හෝ විධිමත්භාවය පිළිබඳ කිසිදු වගකීමක් නොදැරුව ද, රටට විදේශ විනිමය උපයන මෙම ශ‍්‍රම හමුදාව විශාල කර ගැනීමට පමණක් සිතීම කණගාටුදායකය.

Seetha Ranjani - 2හාම්පුතුන්ගේ බරපතල හිරිහැරවලට ලක්වී පැමිණි ස්තී‍්‍රන් සම්බන්ධයෙන් අනාවරණය වීම්, ඝාතන හා 2013 වසරේ ජනවාරි මස සිදු වූ රිසානා නෆීක් නම් බාල වයස්කාර ගෘහ සේවිකාව ෂරීයා නීතිය යටතේ හිස ගසා ඝාතනය කිරීම වැනි සිදු වීම් හරහා මෙම ශ‍්‍රම හමුදාව සම්බන්ධයෙන්, රජයක් වශයෙන් දක්වන නොසැලකිල්ල දැඩි සේ දෝෂාරෝපණයට ලක් විය. එම ස්තී‍්‍රන් තනි තනි පුද්ගලයන් වශයෙන් තම අවිධිමත් රැකියාව නිසා මුහුණ දෙන අභියෝගයන් ගැන වරින් වර කතිකා මතු වී යටපත් වී යයි. ඒ වෙනුවෙන් අවශ්‍යයෙන් ම සිදු විය යුතු රජයේ වගවීම් වෙනුවට ස්තී‍්‍රන්ගේ තීරණ ගැනීමේ අයිතිය උල්ලංඝණය කරමින්, සම්ප‍්‍රදායිකව දරන පවුලේ වගකීම ඇය මත අනිවාර්ය කරමින්, පසුගිය දා නව චක‍්‍රලේඛනයක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයාගේ අත්සනින් නිකුත් කර ඇත. ඒ අනුව ගෘහ සේවයට හෝ මැද පෙරදිග රැකියා සඳහා යන විවාහක ස්තී‍්‍රන් තම සැමියාගේ කැමැත්ත ලබා ගත යුතුය. ඔවුන්ගේ සේවා තත්ත්වයන් යහපත් කිරීමට අවශ්‍ය කොන්දේසි පනවමින් අදාල රටවල් සමඟ එකඟතා ඇති කර ගැනීම වෙනුවෙන් කළ යුතු දෑ තිබියදී ස්තී‍්‍රන්ගේ තීරණ ගැනීමේ හැකියාව පිරිමින්ගේ කැමැත්තේ සීමාවට ලඝු කරන සාම්ප‍්‍රදායික ප‍්‍රතිපත්ති ගෙන ඒම, පය බරවායට පිටි කර බෙහෙත් බැඳීමකි. එම ක්‍ෂේත‍්‍රයේ ස්තී‍්‍රන්ගේ අභියෝග වෙනම කතා කළ යුතු මාතෘකාවක් තරමට බරපතලය.

අවිධිමත් ශ‍්‍රම බලකායේ කාන්තා දායකත්වය කැපී පෙනෙන, කෙලින්ම මහ ජනයා සමඟ සම්බන්ධ වන තවත් ක්‍ෂේත‍්‍ර කිහිපයක් මේ වන විට වර්ධනය වී ඇති බව සමාජය දෙස විමසුම් ඇසින් බලන කෙනෙකුට පැහැදිලි වේ. සුළු ව්‍යාපාර හා අලෙවි කටයුතු සඳහා සමාජය ඉදිරියට පැමිණ සිටින ස්තී‍්‍රන් ඒ අතර කැපී පෙනේ. එක් අතකින් රාජ්‍ය අංශයේ දායකත්වය සහිතව සිදු වන ලොතරැයි ව්‍යාපාරය ඉන් එකකි. කෙනෙකුට සිතෙන්නේ වගකීමක් සහිත රාජ්‍ය ආයතන විශාල ආදායම් උපයන ව්‍යාපාර වශයෙන් කර ගෙන යන මෙම ලොතරැයි අලෙවි කිරීම පසුපස රැුකියා සුරක්‍ෂිතභාවයක් ඇති බවයි. ජනතාව ලොතරැයි මිල දී ගන්නා තරමට හා මිල දී ගැනීමට ජනතාවට මඟට බසින්නට හැකි වන තාක් පමණක් එම රැුකියාව සුරක්‍ෂිතය. ඉන් බාහිර කිසිදු වගවීමක් එම රාජ්‍ය ආයතන විසින් දරන්නේ නැත. නමුත් එම ලොතරැයි ව්‍යාපාරය තුළ ස්තී‍්‍රන් වැඩි වැඩියෙන් යොමු වී සිටීම විශේෂයකි.

අග නගරය වන කොළඹ ප‍්‍රදේශයේ අලෙවි කුටි පවත්වා ගෙන යන ස්තී‍්‍රන් විශාල වශයෙන් දක්නට ඇති අතර වෙනත් නාගරික ප‍්‍රදේශවල ද ස්තී‍්‍ර දායකත්වය දකින්නට ඇත. විශේෂයෙන් ඔවුන්ට ජනතාව ගැවසෙන ස්ථානවල නැතහොත් නගරාශි‍්‍රතව තම අලෙවි කටයුතු කිරීමට සිදු වේ. ලොතරැයි අලෙවි කරමින් තම පවුල ගොඩ නගන්නට වෙහෙසෙන ස්තී‍්‍රන්ගෙන් අපගේ අවධානයට ලක් වූ සමහරු දුර බැහැර ප‍්‍රදේශවලින් පැමිණ අලෙවි නියෝජිතයකු යටතේ අලෙවි කුටි පවත්වා ගෙන යන්නවුන් ය.

නුගේගොඩ හයිලෙවල් පාරේ අලෙවි කුටියක කටයුතු කරන පේ‍්‍රමලතා (45) මහත්මිය එවැනි කෙනෙකි. ඇය මාතර දිස්ති‍්‍රක්කයේ ගම්මානයකින් පැමිණි අයෙකි. ඇය දරුවන් දෙදෙනෙකු සහිත සිය පවුලේ ආර්ථිකයට උර දෙන්නට දුර බැහැර සිට කොළඹ නගරයට පැමිණ ලොතරැයි අලෙවියේ යෙදෙන්නේ ගම් ප‍්‍රදේශයේ නගරාශ‍්‍රිතව වුවත් එතරම් ආදායමක් ලබන්නට හැකියාවක් නොමැති නිසාය. අලෙවිකරුවන් වැඩි වුවහොත් ජනගහනය අඩු ප‍්‍රදේශවල ආදායම අඩු වීමට හේතු වේ. එහෙයින් ඇය කොළඹ සම්බන්ධතාවක් හරහා අලෙවි කුටියක් ලබා ගෙන ඇත. අලෙවි නියෝජිතවරයාගෙන් ලබා ගන්නා ලොතරැුයි පත්වලින් එදිනට නියමිත සියල්ල ඔවුන් විසින් අලෙවි කළ යුතුය. වර්ෂාව, පාරවල සිදුවන උද්ඝෝෂණ, පෙළපාලි හෝ කලබල, බස් වර්ජන, පාරවල් වැසීම ආදිය නිසා ලොතරැයි පත් සියල්ල අලෙවි නොවුණ ද මුඵ ප‍්‍රමාණය තමන් විසින් අතින් ගෙවිය යුතුය. තමා සාමාන්‍යයෙන් අලෙවි කරන ලොතරැයි පත් ප‍්‍රමාණය අළෙවි නියෝජිතයාගෙන් ලබා ගත් පසු ඇති වන ඉහත කී ආකාරයේ හදිසි තත්ත්වයන් නිසා දින දෙක තුනක ආදායම වුවත් අපතේ හරින්නට සිදු වන අවස්ථා උදාවේ. අලෙවි නොවී ඉතිරි වූ ටිකට් පත්වලට සුළු හෝ දිනුමක් තිබුණහොත් එය යම්කිසි සහනයකි. එහෙත් ටිකට් විශාල වශයෙන් ඉතිරි වූ එක් අවස්ථාවකවත්, ඒ සඳහා ආපසු ගෙවිය යුතු මුදල් පියවා ගන්නට තරම් දිනුම් එම ටිකට්පත් ගොන්නේ තිබී නැත. අලෙවි නියෝජිතයකු යටතේ අලෙවි කරන හෙයින් ඇයට අලෙවි කරන එක ලොතරැයි පතකින් ලැබෙන මුදල රුපියල් දෙකකි.

එම ව්‍යාපාරය ම කරන ඇතුල් කෝට්ටේ සුභා දිල්හානි බලාපොරොත්තු නොවූ ආකාරයට එම වෘත්තියට වැටී ඇත. ලොතරැයි ඒජන්සිකරුවෙක් විදිහට කටයුතුSeetha Ranjani - 1 කළේ ඇගේ සැමියා ය. ඇය උසස් පෙළ සමත්, ගණකාධිකරණ ඩිප්ලෝමාව කර, රැකියාවක් ද කරමින් සිටි තරුණියකි. ගාල්ල ප‍්‍රදේශයේ කෙනෙකු වූ ඇය රැකියාව අත්හැර, විවාහ වී පැමිණි පසු ඒ වන විටත් තරමක අසනීපයෙන් සිටි සැමියාගේ රෝගය වැඩි වී ඇත. ස්නායු සම්බන්ධ ආබාධයක් බැවින් ඔහුට ලොතරැයි කුටියේ සිටීම අපහසු වී ඇත. එහෙයින් ඇයට තම පවුල වෙනුවෙන් එම රැුකියාව කරන්නට සිදු වී ඇත. කුඩා දරුවකු ද සිටින ඇය පාන්දර අවදි වී නිවසේ කටයුතු නිමවා උදේ 7 පමණ වන විට ලොතරැයි කුටිය විවෘත කළ යුතුය. සවස 6 දක්වා රැඳී සිටිය යුතුය. නැතිනම් ගණුදෙනුකරුවන් අත හැරේ. ඔවුන් ලොතරැයි නියෝජිතයකු ලෙස කටයුතු කරන බැවින් එක් ටිකට් පතකින් රුපියල් 3.50 ආදායමක් ලැබේ. සියල්ල අලෙවි කර ගත හැකි වුවොත් දවසකට රුපියල් 2500ක් පමණ ආදායමක් ලබා ගත හැකිය. එහෙත් ඉහත කී කාන්තාව ප‍්‍රකාශ කළ හදිසි අවස්ථා සියල්ල ඇයට ද පොදුය. එවිට ලබා ගත් ආදායම ද එම පාඩුව මකන්නට ගෙවන්නට සිදු වේ. එවැනි අභියෝග එසේ තිබියදී, දවස පුරා පාරේ සිට ආශ්වාස කරන දුම, දූවිලි නිසා ඇය සෙම් රෝගියකු බවට පත් කොට ඇත. එපමණක් නොව සමහරුන් වංචා කරන්නට කරන උත්සාහයන් ගැන අවධානයෙන් සිටීමට ද සිදු වේ. ටිකට් රැගෙන මුදල් නොගෙවා අමතක වූවා සේ යන්නට උත්සාහ දැරීම, ටිකට් පත් දෙක තුනක් එකට තබා කඩා ගෙන එකක් වශයෙන් මුදල් ගෙවීමට උත්සාහ කිරීම වැනි කටයුතු කරන අය ගැනද අත්දැකීම් ඇයට ඇත. ඒවා ස්ති‍්‍රයක නිසා තමන් ලෙහෙසියෙන් රැවටීමට හැකි යැයි සිතා සමහරු කරන උත්සාහයන් විය හැකි බව ද ඇගේ අදහසයි. එම රැකියාව ම කරන අනුරාධපුර තරුණ ස්ති‍්‍රයක් එම කටයුත්තේ යෙදෙන්නේ වසරක් පමණ වන තම අත දරුවා ද සමඟය. රත්නපුර ප‍්‍රදේශයේ කෙනෙකු වූ ඇය සැමියා සහ දරුවා සමඟ අනුරාධපුරයේ කුලී කාමරයක ජීවත් වේ. පවුලේ ආර්ථිකය වෙනුවෙන් තම සැමියාට උදව් කළ යුතු නිසා ඇය එම දුෂ්කර කි‍්‍රයාව කරන බව කියයි. වාහන ගමනාගමනය වැඩි නගරාශ‍්‍රිත විවෘත පරිසරයක එවැනි අත දරුවකු දහවල් කාලය පුරා තබා ගෙන සිටීම ගැන ඇයට එතරම් වැටහීමක් තිබූ බවක් ද නොහැඟිණ. ටිකට් පතකින් ඇයට රුපියල් 2.50ක් ලැබේ. කෙසේ වෙතත් එම සියළු අභියෝග ඇය දරා සිටින්නේ පවුලේ ආර්ථිකයට දායක වීමට ඇති අධිෂ්ඨානය තුළින්ය. ඔවුන්ගේ අනෙකුත් අභියෝග මොනවාදැයි ඔවුන් පිළිබඳ සම්පූර්ණ සමීක්‍ෂණයකින් තේරුම් ගත හැකිය.

එ් එ් ප‍්‍රදේශ ආශි‍්‍රතව රජයේ මැදිහත් වීමෙන් සිදු වන සංවර්ධන කි‍්‍රයාවලිය ද, කුඩා ව්‍යාපාර හා ස්වයං රැුකියා කරන සමහර ස්තී‍්‍රන් වර්තමානයේ මුහුණ දෙන අභියෝගයක් බවට පත් වී ඇත. එසේ වී ඇත්තේ ඔවුන්ට හුරු පුරුදු ස්ථානවලින් ඉවත් වන්නට සිදු වීම නිසා ගනුදෙනුකරුවන් අත් හැරෙන නිසාය. මාදිවෙල, කිඹුලාවල ප‍්‍රදේශය හා ඒ ආශි‍්‍රතව සිදු වී ඇති සංවර්ධන කටයුතු නිසා කෑම හා වෙනත් දේවල් අලෙවි කිරීමේ යෙදුණ අයට ඒ වෙනුවට අලෙවි කුටි ලැබී ඇතත් අලෙවිය අඩු වී ඇත්තේ, පුරුදු ගනුදෙනුකරුවන් එතරම් දුරක් ගෙවා නොඑන නිසාය. අළෙවි කුටි සහිත වෙනම කොටසක් ඔවුනට ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලට යන මාවතේ වෙන් කර දී ඇත. තලපත්පිටිය ප‍්‍රදේශයේ පාර අද්දර පවත්වා ගෙන ගිය කෑම කරත්තයෙන් ඉතා ම හොඳ ආදායමක් ලැබුණත් නව ස්ථානයෙන් එදිනෙදා වියදම පිරිමසා ගැනීමට පමණක් ආදායමක් ලැබෙන බව එහි කෑම කඩයක් කරන චාන්දනීගේ (33) අදහසය. එවැනි පාරක එදිනෙදා ගනුදෙනුකරුවන් අඩු වී ඇති බවත් වාහනවලින් යන අය පුරුදු වුවහොත් සාර්ථක විය හැකි බවක් ඇයගේ විශ්වාසයයි. එමෙන්ම අලූතින් ලබා දුන් වෙළෙඳ කුටි ආශී‍්‍රතව ජල පහසුකම් ලබා ගැනීමට ක‍්‍රමයක් නැත.

අනුරාධපුර ප‍්‍රදේශයේ පූජා නගරයේ පූජ්‍ය ස්ථාන හා ඓතිහාසික ස්ථාන ආශි‍්‍රතව මල් වෙළෙඳාම, විසිතුරු භාණ්ඩ හා කෑම බීම වෙළෙදාමේ යෙදෙන ස්ත‍්‍රී ව්‍යාපාරිකයන් පසුගිය කාලයේ වැඩි වී ඇත. සමහර විට මෙම ව්‍යාපාර කටයුතුවල ඔවුන් නියැලී ඇත්තේ තම සැමියා වෙනත් සුළු කම්කරු හෝ වැඩක යෙදෙන නමුත් පවුලේ ආර්ථිකය එමඟින් කිසිසේත් නොවිසඳෙන බැවිණි. සමහරු සැමියා සිටිය ද පවුලේ සියලූ ආර්ථික වගකීම් බර දරා සිටිති. සමහරු සැමියා නොමැති වැන්දඹුවන් ය. ඔවුනටත් පරිසරය සුන්දර කිරීම හා සංවර්ධනය තේමා කර ගෙන සිදු වූ හා සිදු වන්නට නියමිත සංවර්ධන කටයුතු නිසා අභියෝගවලට මුහුණ දෙන්නට සිදු වී ඇත්තේ ජනතාව ගැවසෙන ස්ථානවලින් පිටතට යන්නට සිදු වී ඇති නිසාය. ස්තී‍්‍රන් නිසාම පොදුවේ සමාජය තුළ මුහුණ දෙන අභියෝගවලට ඔවුනට ද මුහුණ දෙන්නට සිදු වේ. ඒවාට ශක්තියෙන් මුහුණ දී අභියෝග ජයගන්නට ඔවුහූ උත්සාහ ගනිති. රෙදි ව්‍යාපාරය සඳහා ඉතා ම ප‍්‍රසිද්ධ පමුණුව ප‍්‍රදේශයේ රෙදි කැබලි අලෙවි කරන ස්ති‍්‍රයක් කි‍්‍රයා කරන ආකාරය, ස්ති‍්‍රයක් වීම නිසා ම ඇති විය හැකි අවදාමෙන් ආරක්‍ෂාකාරී වීම සඳහා ගන්නා උත්සාහයට උදාහරණයකි.

Sunila Semaruma 4සුළු ව්‍යාපාරික ස්ති‍්‍රයක වශයෙන් විශේෂයෙන් පුරුෂයින්ගේ අවධානයෙන් ඈත් වී සිටීමට ඇය ගන්නා පියවර හෙළිදරව් නොකළ යුතුය. ඇයගේ නම ද එහෙයින් හෙළිදරව් නොකළ යුතුය. නමුත් ජීවිතයට මුහුණ දෙන්නට තම ජීවිකාව කර ගෙන යන ස්තී‍්‍රන් මුහුණ දෙන අභියෝග හා ඒවා සඳහා ඔවුන් භාවිත කරන ආරක්‍ෂාකාරී උපක‍්‍රම මඟින් පෙන්නුම් කරන්නේ සමාජය තුළ ස්තී‍්‍රන් කෙරෙහි ඇති ආකල්පවලින් ඔවුන් කොතරම් පීඩා විඳිනවා ද යන්නය. විශේෂයෙන් ස්තී‍්‍රන් පහසු ලිංගික ගොදුරු කර ගැනීමට සිතන පිරිමි මානසිකත්වය, ඔවුන් රවටා ආර්ථික වාසි ලබා ගැනීමට උත්සාහ කරන පිරිමින්ගේ ආකල්ප ආදිය ගැන වැටහීමක් එමඟින් ලබා ගත හැකිය. එවැනි තත්ත්වයක් සමාජය තුළ ඇති බව තේරුම් ගත් ස්තී‍්‍රන් එම අභියෝගවලට මුහුණ දෙන්නට උපක‍්‍රම භාවිතා කරන ආකාරය ද එයින් පැහැදිලිය.

ඇගේ සැමියා මිය ගොස් වසර 16ක් ගත වී ඇතත් ඇය තම ව්‍යාපාරික පරිසරය තුළ පෙනී සිටින්නේ විවාහක ස්ති‍්‍රයක් වශයෙනි. එමෙන්ම තව දුරටත් ආරක්‍ෂා වීමට සිතා, ඔහු හමුදාවේ සේවය කරන්නකු බව ද කතාවට එන කාටත් පවසා ඇත. දුර බැහැර සේවය නිසා ඔහුට ඇගේ කටයුතු ගැන බලන්නට කිසිදු අවස්ථාවක් නැති බව පවසා ඇත. එය අනවශ්‍ය හිතවත්කම් පවත්වන්නට එන අය වළක්වන උපක‍්‍රමයක් ලෙස සාර්ථක වී ඇති බව ඇගේ අදහසය. කපා ඉවත් කරන රෙදි කැබැලි කිලෝ ගණනට විකුණන ව්‍යාපාරය සාර්ථකව කෙරෙන පමුණුව ප‍්‍රදේශයේ කඩ කාමරයක් පවත්වා ගෙන යන තනි ගැහැණියක් වන ඇය, තී‍්‍ර වීලර්වල පටවා ඒවා ගෙන එන්නේ කටුනායක ප‍්‍රදේශයෙනි. තම සැමියා මිය යන විට බාල දරුවාට අවුරුදු 2ක් පමණ වුව ද ඇය තම ධෛර්යයෙන් ඔවුන් දෙදෙනාට උගන්වා මේ වන විට ඔවුන් ද සාමාන්‍ය රැුකියා කරන තත්ත්වයට පත් කොට ඇත. නමුත් ඔවුන්ගේ විවාහ කටයුතු සහ දුවගේ දෑවැදි කටයුතු ගැන ද සැලසුම් කරමින් ඇය ඉතා අවිවේකයෙන් කටයුතු කරයි. අවුරුදු 45ක් පමණ වයසැති ශක්තිමත්, නිරෝගී පෙනුමකින් හා කඩිසර බවකින් ද යුතු ඇය, සුළු ව්‍යාපාරිකයන් බහුල ජනාකීර්ණ පරිසරයක මානසික පීඩාවලින් ඈත්ව, තම කටයුතු කර ගෙන යන්නේ තත්ත්වය තේරුම් ගත් සැලසුම් සහගත කි‍්‍රයා මාර්ග ගැනීම නිසාය. ව්‍යාපාරික කටයුතුවල දී තනි ගැහැණියක් වශයෙන් කටයුතු කරද් දී ආරම්භයේ ම ලත් අත්දැකීම් ඔස්සේ ඇය එම අභියෝගවලින් ගැලවෙන්නට උපක‍්‍රම සොයා ගෙන ඇත. නමුත් තමා හමුදාවේ කෙනෙකු සමඟ විවාහ වී සිටින ස්ති‍්‍රයක් බව පැවසීම ම ස්තී‍්‍රන් ශාරීරික වශයෙන් හා ආර්ථික වශයෙන් ගොදුරු කර ගන්නට මාන බලන පිරිමි සමාජයට අහක බලන්නට කාරණාවක් නොවේ. නමුත් තම කාර්යය ගැන කෙලින් කතා කොට, පෞද්ගලික කිසිදු විස්තර කතාවකට හිතවත් නොවී තමා ආරක්‍ෂාකාරීව කටයුතු කර ගෙන යන බව ඇය පවසන අතර ඇය සම්පූර්ණයෙන් ආරක්‍ෂිත බවක් ද නොහැෙඟ්. කෙසේ වුවත් මෙම කතාව හරහා පැහැදිලි වන්නේ මෙවැනි ක්‍ෂේත‍්‍රවල ස්තී‍්‍රන් මුහුණ දෙන අභියෝගවල ස්වභාවය හා ස්තී‍්‍රන්ට ඒවායින් ආරක්‍ෂා වීමට සිදු වී ඇත්තේ උපක‍්‍රමශීලී වීම හරහා බවයි. එය ඇයට තමා කැමැති රැකියාවක් කිරීමට ලැබුණු නිදහස් වාතාවරණයක් නොවේ.

වැඩ කරන ස්තී‍්‍රන්ට මෙවැනි තත්ත්වයනට මුහුණ දෙන්නට සිදු වන්නේ අවිධිමත් ක්‍ෂේත‍්‍රයේ රැකියා කරද්දී පමණක් නොවේ. නමුත් අවිධිමත් ක්‍ෂේත‍්‍රයේ සිදු වන Sunila Semaruma 5අසාධාරණකම් අකටයුතුකම්වලට විසඳුම් ලබා ගැනීමට ගත හැකි කි‍්‍රයා මාර්ග අල්පය. බොහෝ විට තනිව මුහුණ දෙන්නට සිදු වේ. ආයතන මට්ටමේ සංවිධානගත කි‍්‍රයා මාර්ග ගන්නට හැකියාව නැත. වෘත්තීය කි‍්‍රයා මාර්ග ගැනීම සඳහා එවැනි වෘත්තීය සංගම් අවිධිමත් ක්‍ෂේත‍්‍රවල නැත. එහෙයින් ම විශේෂයෙන් ස්තී‍්‍ර ශ‍්‍රමිකයන් ස්තී‍්‍රන් වීම නිසා ම මුහුණ දෙන අභියෝග මෙහිදී ප‍්‍රමුඛ වේ.

පමුණුව ප‍්‍රදේශයේ ස්තී‍්‍රන් පමණක් නොව සියලූ දෙනා මේ වන විට අවිනිශ්චිතව සිටින තවත් කාරණයක් අනාවරණය විය. එනම් ඉතා ජනාකීර්ණ නමුත් සැබැවින් ම ඉතා ම පටු පමුණුව කඩ කාමර අතර මාර්ගය පලල් කිරීමට සූදානමක් ඇති බවට ඇති ආරංචියයි. පාර පලල් කරන්නට කටයුතු කරන බව දැනුම් දී ඇතත් තමන්ගේ කඩ කාමර පවත්වා ගෙන යන්නේ කෙසේදැයි දැනුම් දීමක් නොමැති හෙයින් ඔවූහූ අනාගතය ගැන බියකින් ද සිටිති. මෙය විශාල ගණනක් දිවි රැක ගන්නා අවිධිමත් ක්‍ෂේත‍්‍රයේ රැුකියා විශාල ප‍්‍රමාණයක් ද සහිත ජාතික මට්ටමේ ප‍්‍රසිද්ධ ව්‍යාපාරික ස්ථානයක් බැවින් කැඩෙන කඩ කාමර වෙනුවට ඉඩක් ලැබේයැයි විශ්වාසයක් ද ඔවුන් අතර පවතී. නමුත් සාමාන්‍යයෙන් සිදු වන්නා සේ ගනුදෙනුකරුවන් මඟ හැරී, ව්‍යාපාර බිඳ වැටෙන ස්ථානයක් ලැබේදෝ යන සැකය ද ඇත. තවත් විවිධාකාර වූ අවිධිමත් රැකියා ක්‍ෂේත‍්‍රවල ස්තී‍්‍රන් නියැලෙන බව සැබෑය. සමහර ක්‍ෂේත‍්‍ර විශේෂ වශයෙන් ශාරීරික වශයෙන් සෘජුව නොවුණත් මානසික වශයෙන් හිරිහැරවලට ලක්වන ඒවාය. රැකියා රැක ගැනීම සියල්ලට වඩා අවශ්‍ය බැවින් ඒවා විඳ ගෙන සේවය කරන්නට ඔවුනට සිදු වී තිබේ. අවිධිමත්භාවය නිසා ම රැකියාව තමන්ගේ ජීවිතය සමඟ කේවල් කරන්නට යොදා ගන්නා පුවත් අප ඕනෑ තරම් අසා ඇත. වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් සංවිධාන ගත වීමක් නොමැති හෙයින් සේවයට සරිලන වැටුප් හෝ පහසුකම් සඳහා අරගල කළ නොහැකිය. ස්තී‍්‍රන් හෝ වේවා, පුරුෂයින් හෝ වේවා රැකියා සුරක්‍ෂිතභාවය ඉතා අඩුය. ස්තී‍්‍රන් වීම නිසා ම පිරිමින්ට වඩා අඩු වැටුප් සමහර අවිධිමත් රැකියාවල දී ස්තී‍්‍රන්ට ලැබේ. අවිධිමත් ක්‍ෂේත‍්‍රයේ වැඩ කරන ස්තී‍්‍රන් විශේෂයෙන් මුහුණ දෙන අභියෝග ගැන කතා කරන විට විශේෂයෙන් ස්තී‍්‍රන් කෙරෙහි ඇති අගතිගාමී ආකල්ප වෙනස් වීමේ අවශ්‍යතාව ප‍්‍රමුඛව මතු වේ.

සටහන සහ ජායාරූප
සීතා රංජනී

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s