ශ‍්‍රී ලාංකේය ස්ත‍්‍රියගේ වැඩ ලෝකයේ භූමිකාව

Cartoon 4 - Sachinda Dulanjanaශ‍්‍රී ලංකාව වනාහී ලොව ප‍්‍රථම අග‍්‍රාමාත්‍යවරිය බිහි කළ රාජ්‍යය ලෙසින් කිරුළු පැළදූ බව අදටත් අප සිහිපත් කරනුයේ ඉමහත් ගෞරවයෙනි. එමෙන්ම වරක් විධායක ජනපති ධූරයට පවා ස්ත‍්‍රියක් තේරී පත්වූ රටක් ලෙසින් ද, ලොව ඉදිරියේ අප ඉතා ආඩම්බරයෙන් උදම් අනනුයේ මෙරට ස්ත‍්‍රී ප‍්‍රජාවට තමන් රුචි කරන ඕනෑම විෂය ක්‍ෂේත‍්‍රයකට ඇති සීමා රහිත ප‍්‍රවේශයන් පිළිබඳව චිත‍්‍රයක් මවා පාමිනි. කෙසේ වෙතත් එකී සුන්දර චිත‍්‍රය පිටුපස සැඟවෙන ශී‍්‍ර ලාංකීය ස්ත‍්‍රිය හා වත්මන් වැඩ ලෝකය පිළිබඳව වන යථා ස්වරූපය හෙවත් අසුන්දර චිත‍්‍රය වනාහී සැබැවින් ම පුළුල් කතිකාවතක් ගොඩනැගිය යුතු විෂය නිමිත්තකි. ඒ මක්නිසාද යත් ස්ත‍්‍රී අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමෙහිලා වන නොනවතින අරගලයේ පෙර කී විෂය නිමිත්ත ද එක් වැදගත් පැතිකඩක් වන නිසාවෙනි.

ස්ත‍්‍රිය හා බැඳුණු වැඩ ලෝකයේ ව්‍යාකූලතා ගැන අවධානය යොමු කරන්නට මත්තෙන් එකී වෘත්තීයමය ලෝකයට ප‍්‍රවේශය ලබා ගැනීමේ දී මෙරට ස්ත‍්‍රී ප‍්‍රජාව පසු කළ වැදගත් සන්ධිස්ථාන හා ඒ හා බැඳුණු සංස්කෘතිකමය පසුබිම පළමුව සලකා බැලීම වටී. එදිනෙදා කුටුම්භ ජීවිතය තුළ සාමාන්‍ය ගෘහණියක් ලෙස ස්ත‍්‍රියක් අතින් සිදු කෙරෙන්නා වූ අතිමහත් මෙහෙවරට විශේෂ වටිනාකමක් හිමි නොවන්නාවූත්, එය හුදෙක් ම ස්ත‍්‍රියක් ලෙස සිය නිවසට හා පවුලට ඉටු කළ යුතු වගකීම් සමුදායක් ලෙස හුවා දක්වන්නාවූත් සංස්කෘතික පසුබිමක් ඇති සමාජයක, අප වෘත්තීමය ලෝකයේ සීමා මායිම් ලකුණු කරන්නට වෙර දරන්නේ ද මෙකී සෘණාත්මක ආකල්පයන් පෙරදැරි කරගෙන කිවහොත් මා නිවැරදිය.

කෙසේ වෙතත් නිදහස් අධ්‍යාපනය නම් වටිනා ඖෂධය සාම්ප‍්‍රදායිකව ආතුර වූ මෙරට සමාජ රාමුව තුළට එන්නත් කිරීමත් සමඟ ම ස්ත‍්‍රිය පිළිබඳව ගොඩනඟා ගෙන සිටි විෂමවූත්, විවිධවූත්, බොහෝ ගතානුගතික සමාජ මතිමතාන්තර දුරු වීමට පටන් ගත් බව පැහැදිලිව ම විද්‍යාමාන විය. එය එසේ වූයේ එතෙක් බොහෝවිට නිවසෙහි රඳවාගෙන විවාහය සිදු කෙරෙන තෙක් ගෙදරදොර වැඩපලවලට හුරු කර වූ ගැහැණු දරුවාට ද නොමිලේ ලැබෙන නිදහස් අධ්‍යාපනය ලබාදීමට දෙමාපියන් යුහුසුළු වූ හෙයිනි. මේ සදහා හේතුකාරක වූ සරල ම සංසිද්ධිය අධ්‍යාපනයට එවන් නිදහස් ප‍්‍රවේශයක් ලබාදී ඇති විටෙක ගැහැණු පිරිමි භේදයකින් තොරව, තම දරුවන්ට එය මඟ හැරෙන්නට දීම අනුවණකමකැයි බහුතරයක් දෙමාපියන් සිතූ නිසා ද විය හැකිය. එකල දරුවන්ගේ අධ්‍යාපනය සඳහා විශේෂයෙන් අමතර වියදමක් දැරීමට තරම් පොහොසත් ආර්ථික පසුබිමක් සහිත නොවූ මෙරට සාමාන්‍ය ජන සමාජයට නිදහස් අධ්‍යාපනය අත් නොහැරිය යුතු වූ දායාදයක් ලෙස පෙනී යන්නට ඇත. කෙසේ වෙතත් මෙහි අවසන් ප‍්‍රතිඵලය වූයේ මෙරට ස්ත‍්‍රී ප‍්‍රජාවට නිදහස් අධ්‍යාපනය හරහා වෘත්තීමය ලෝකයට පුළුල් ප‍්‍රවේශයක් නිර්මාණය වීමය. මේ හරහා සමාජයේ පිළිගත් ඉහළ ස්ථරයේ වෘත්තීන්වලට පවා ස්ත‍්‍රීන්ට ඉඩකඩ විවර වීමෙන් සාම්ප‍්‍රදායික රාමුව තුළ සිත්තම් වූ, ගෙදර දොර වැඩපළවලටත් සිය පවුලේ කටයුතුවලටත් පමණක් කැපවූ පරමාදර්ශී ගෘහණියගේ චිත‍්‍රය යම් පමණකට බොඳ කරන්නට සමත් විය. එහෙත් වැදගත් ම කාරණය වනුයේ තවමත් අප ජන සමාජයේ ස්ත‍්‍රිය පිළිබඳ මැවුණු ප‍්‍රතිරූපය පෙර කී පරමාදර්ශී ගෘහණිය ම වීම තුළ, වැඩ ලෝකයට පිවිසි ස්ත‍්‍රී ප‍්‍රජාව හා සාමාන්‍ය ජන සමාජයේ ආකල්පමය පසුබිම අතර නිරන්තරයෙන් සිදු වන්නාවූ ඝට්ඨනය සුළු පටු නොවන බවයි.

මෙලෙස ඉතා ක‍්‍රමිකව සම්ප‍්‍රදායික රාමුවෙන් මිදී වෘත්තීමය ලෝකයට පිය නැගීම හරහා, ශී‍්‍ර ලාංකීය ස්ත‍්‍රී ප‍්‍රජාව තමන් වෙනස් කොට සැලකීමට එරෙහිව සිදුකරන නිහඬ අරගලයේ ස්වභාවය වෙනස් විය. එසේ වූයේ වෘත්තීමය ලෝකය තුළ ස්ත‍්‍රීන්ට එරෙහිව සිදුවන අකටයුතුකම් හා අයිතීන් කඩවීම් රාශියක් අලූතෙන් නිර්මාණය වූ හෙයිනි. සිය රැුකියා ස්ථානවල දී ශාරීරිකව හා මානසිකව බලපෑම්වලට ලක්වීම, ශ‍්‍රම බලකාය තුළ සුදුසුකම්වලට සරිලන නිසි වැටුප් සහිත රැුකියා නොලැබීම, අවිධිමත් ක්ෂේත‍්‍රයේ ස්තී‍්‍රකරණය මත පිහිටා අඩු මිලැති ශ‍්‍රමිකයන් ලෙස ශ‍්‍රම සූරා කෑමට හසුවීම, සංක‍්‍රමණික සේවිකාවන් ලෙස කටයුතු කිරීමේ දී පවුල් පරිසරය තුළ වන බිඳවැටීම්වලට මුහුණ පෑම ආදී අනේක විධ ගැටළු හමුවේ ස්ත‍්‍රී අයිතීන් සුරක්‍ෂිත කිරීම සඳහා වන අරගලයේ පරාසය තව තවත් පුළුල් වී ඇති බව පැහැදිලිව ම පෙනෙන්නට ඇත.

වෘත්තීමය පරිසරය තුළ මෙරට ස්තී‍්‍ර ප‍්‍රජාව සතු අයිතීන් සුරක්‍ෂිත කිරීම පිළිබඳව පැහැදිලි වගකීමක් ජන සමාජයට ද පැවරේ. එකී අයිතීන්වල සුරක්ෂිතභාවය හරහා ප‍්‍රජාතාන්තී‍්‍රය සමාජ රාමුවක ලක්‍ෂණ ලොවට විද්‍යාමාන කරයි. එමෙන්ම තමන්ට මුහුණ පෑමට සිදුවන අයිතිවාසිකම් උල්ලංඝණයවීම් හා වෙනත් අකටයුතුකම්වලට එදිරිව නැගී සිටින්නට ස්ත‍්‍රීන් තුළ පවත්නා පසුබස්නා ස්වභාවය නිසා මෙරට ජන සමාජය වෙත වැඩි බරක් පැවරිණි.

ස්වකීය රැුකියා ස්ථානවල දී මුහුණ පෑමට සිදුවන අනේක විධ බලපෑම්වලට එරෙහිව නැගී සිටින්නට ස්ත‍්‍රීන් තුළ පවත්නා පෙර සදහන් කළ පසු බස්නා ස්වභාවයට ද හේතු කාරණා බොහොමයක් වේ. ඒ අතරින් ප‍්‍රධානතම සාධකය වන්නේ තරඟකාරී රැුකියා වෙළඳ පොළ තුළ ස්තී‍්‍ර-පුරුෂ භේදයකින් තෙරව තමන් නිරත වන්නාවූ රැකියාව සුරක්ෂිත කර ගැනීමට සියලූ වෘත්තිකයන් දරන්නා වූ මහත් ප‍්‍රයත්නය තුළ කවර මට්ටමේ බලපෑමක් වුව ද නිහඬව බලා සිටින්නාවූ ප‍්‍රජාවක් නිර්මාණය වී තිබීමය. එම සෘණාත්මක ප‍්‍රවණතාවය නිසා ස්ත‍්‍රී ප‍්‍රජාවට සිදු කරන්නා වූ බලපෑම වැඩි වන අතර වෘත්තීමය පරිසරය තුළ මෙරට ස්ත‍්‍රීන්ගේ සැබෑ චිත‍්‍රය නිරාවරණය නොවීමට ද එය හේතුවකි. කෙසේ වෙතත් රතු, කොල, නිල් හිස්වැසුම් ලා ගෙන, සටන්පාඨ කියමින් කොළඹ හයිඞ් පිටියට හෝ කැම්බල් පිටියට හෝ නගර සභා කි‍්‍රඩාංගණයට හෝ පෙළපාලිවලින් පැමිණ මැයි රැළි සඳහා එක්රැස් වන ස්ත‍්‍රීන් දකින සමහරෙකු වෘත්තීමය ලෝකය තුළ අප කතා කරන ආකාරයේ නිහඬතාවයක් සැබැවින් ම ඇත්දැයි සැක කරනු ඇත. එහෙත් වසරේ ඉතිරි දින තුන්සිය හැට හතර තුළ මෙරට ස්ත‍්‍රීන් වෘත්තීයමය පරිසරය තුළ මුහුණ පාන අභියෝග හා ගැටළු කෙරේ අවධානය යොමු කළ හොත් මා පෙර සඳහන් කළා වූ බලපෑම්වලට යටත්ව සිටින්නා වූ අභාග්‍ය සම්පන්න තත්ත්වය පිළිබඳ කාරණය සත්‍ය බව ඕනෑ ම අයෙකුට සක්සුදක් සේ පැහැදිලි වනු ඇත.

තමන්ට සිදුවන බලපෑම් හමුවේ නිහඬව සිටින්නාවූ මා පෙර සඳහන් කළ තත්ත්වය තුළ ස්ත‍්‍රීන්ට එරෙහිව වෘත්තීමය පරිසරය තුළ සිදුවන්නා වූ ලිංගික බලපෑම් ද ඉහළ ගොස් ඇත. සේවයේ නිරතවන ස්ත‍්‍රීන්ට පමණක් නොව යම් යම් කාර්යයන් ඉටු කර ගැනීමට කාර්යාලවලට පැමිණෙන ස්ත‍්‍රීන්ට ද මේ තත්ත්වයන්ට මුහුණ පෑමට සිදු වී ඇති බව කාලීන පුවත් වාර්තා ඇසුරු කරන ඕනෑ ම අයෙකු දන්නා කරුණකි. එමෙන්ම ශී‍්‍ර ලංකාවේ පවත්නා නිදහස් වෙළඳ කලාපවල සේවය කරන ඇගළුම් සේවිකාවන් වැනි කණ්ඩායම් වෘත්තීමය පරිසරය තුළ මෙන්ම ඉන් පරිබාහිරව ද විවිධ වූ ලිංගික බලපෑම්වලට නිරාවරණය වී ඇති බව නොරහසක් බැවින් වැඩ ලෝකය තුළ ඔවුන්ගේ සුරක්‍ෂිතභාවය තහවුරු කිරීම පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත්ය.

මේ හැරුණුවිට ශී‍්‍ර ලංකාව තුළ ස්ත‍්‍රී ප‍්‍රජාව තම සේවා නියුක්තිය ලබා දෙන වැඩ ලෝකය මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීමේ තෝතැන්නක් බවට ද පත්වී ඇති බව අප විශේෂයෙන් සැලකිල්ලට ගත යුත්තකි. ස්ත‍්‍රීන් කොන් කර සැලකීමට බඳුන් කරන්නා වූ තත්ත්වයක් නිර්මාණය වී තිබීමෙන්, වෘත්තීමය පරිසරය තුළ යහපත් මානසිකත්වයකින් සේවයේ නිරතවන වෘත්තිකයෙකුගෙන් ලැබෙන උපරිම ඵලදායීතාව මෙරට ස්ත‍්‍රී ප‍්‍රජාවගෙන් ලබා ගැනීම අසීරු කරනු ඇත. ඒ මක් නිසාද යත් යහපත් මානසික මට්ටමක් සහිතව සේවයේ නිරත වීමට හැකිවීම සේවකයකුගේ ඵලදායීතාවය තීරණය කරන ප‍්‍රධානම නිර්ණායකයක් වන හෙයිනි.
ස්ත‍්‍රී ප‍්‍රජාව වෘත්තීමය ලෝකය තුළ මුහුණපාන ගැටළු ගැන රාජ්‍ය ප‍්‍රතිපත්තිමය වශයෙන් ද අවධානයට ලක් විය යුතුය. සිඩෝ සම්මුතියේ එන නිර්දේශ සෘජුව ම රාජ්‍යය හා පෞද්ගලික අංශය තුළ බලගැන්වීම රජයේ වගකීමකි. අවසාන වශයෙන් කිවයුතු එක දෙයක් ඇත. දහසකුත් එකක් ගෙදර දොර කර්තව්‍යයන් මිල නියමයක් නොමැතිව ම ඉටු කරන මෙරට ස්ත‍්‍රී ප‍්‍රජාවට අවම වශයෙන් වෘත්තීමය පරිසරය තුළ දීවත් නිසි පිළිගැනීම හා සම අයිතිවාසිකම් ලබාදීම සිදු නොවන්නේ නම් මෙරට ස්ත‍්‍රීන් අගමැති, ජනාධිපති ධූරවලට පවා පත්වූ බවට පුරාජේරු කීමෙන් පලක් වන්නේ නැත.

ඩබ්ලිව්. සචින්ද දුලංජන

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s