වැඩ කරන කිරි මවට තැනක් නැති නමක්

“මව්කිරි ප‍්‍රවර්ධනය”

වැඩ කරන කිරි මවට තැනක් නැති නමක්

“ඔබේ දරුවාට මාස 6 ක් ගතවන තුරු ඔබේම කිරි පමණක් ලබාදෙන්න”Brest Feeding

මේ වූ කලී, මෙම දිනවල මාධ්‍යයන් ඔස්සේ නිරතුරු ප‍්‍රචාරය වන දැන්වීමක සාරාංශයයි. මව්කිරි පිළිබඳ මාධ්‍ය ප‍්‍රචාරණයක් හදිසියේ ම කරළියට පැමිණියේ ඇයි ද යන්න වර්තමානයේ රට ම දන්නා කරුණක් බව නම් නිසැක ය. නවසීලන්තයෙන් ආනයනික කිරිපිටිවල මිනිස් සිරුරට අහිතකර ඞී.සී.ඞී. නම් විෂ රසායනය අඩංගු වන බවට විද්‍යාගාර පර්යේෂණයන්ගෙන් සනාථ වීම හරහා රට තුළ ක්‍ෂණිකව ආන්දෝලනාත්මක පරිසරයක් ගොඩනැඟීම අදාළ ප‍්‍රස්තුතයට පසුබිම් විය. (මේ වන විට නවසීලන්ත කිරිපිටිවල විෂ රසායන නොමැති බවට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කොට ඇති බවත්, යම් යම් ඝෘජුව නොපවසන හේතූන් මත ආන්දෝලනාත්මක තත්ත්වය යටපත් වීමක් සිදු වී ඇති බව මෙහි ලා සඳහන් කළ මනාය.* කෙසේ වුව ද මෙහි දී අපගේ අරමුණ වන්නේ, එකී සිදුවීම ගවේෂණය කිරීම හෝ මව් කිරිවල අද්විතීය ගුණය පිළිබඳ වර්ණනා කිරීම හෝ නොවේ. වත්මන් මව්කිරි ප‍්‍රවර්ධන හා ප‍්‍රචාරණ වැඩ පිළිවෙල ශී‍්‍ර ලාංකේය වැඩ කරන කිරි මව්වරුන්හට බලපාන්නේ හා වැදගත්වන්නේ කෙසේදැ යි යන්න විමසා බලීම අපේ අරමුණය.

මව් කිරිවල අවශ්‍යතාවය

මෙලොව වටිනා බොහෝ දේ තැනී ඇත්තේ හිරුගේ රශ්මියෙන් හා මවගේ කිරිවල බලයෙන් යැයි ලොව ප‍්‍රකට කියමනකි. මිනිස් ශරීරය හා මොලය වර්ධනයට අවශ්‍ය ප්‍රෝටීන්, මේදය, කැලරි, විටමින් වර්ග මෙන්ම ප‍්‍රතිශක්තිකරණ සංඝටක අන්තර්ගත බැවින්, උපතින් මුල් මාස 6 තුළ ළදරුවකු සඳහා මවගේ පියවුරුවලින් එරෙන කිරි පමණක් ප‍්‍රමාණවත්ය. (ළමා රෝග විශේෂඥ වෛද්‍ය සනත් ළමාබදුසූරිය, දොරමඬලාව, ස්වාධීන රූපවාහිනී සේවය, 2013.08.19) යන්න වෛද්‍ය නිර්දේශයයි. නමුත් හදිසි අවස්ථාවක දී එනම් මව මියගිය අවස්ථාවක හෝ මවගෙන් එරෙන කිරි ප‍්‍රමාණවත් නොවන අවස්ථාවක ආදේශක ළදරු කිරිපිටි ලබාදීම එදා මෙදාතුර සිදු වූවත් විටින්විට ලෝකය කළඹන විෂ රසායනික සිදුවීම් (නවසීලන්ත ඞී.සී.ඞී. සිදුවීම, චීනයේ මෙලමයින් සිදුවී) හේතුවෙන් ආදේශක කිරිවලට සමු දී වෙනත් විකල්ප කරා යා යුතු බව සෞඛ්‍ය අංශවල මතයයි. මෙහි දී හොඳම විකල්පය කිරි දෙන වෙනත් මවකගේ කිරි ලබා ගැනීම බව (දොරමඩලාව, ස්වාධීන රූපවාහිනී සේවය, 2013.08.19) වැඩි දුරටත් සඳහන් වේ. මව්කිරි දීමේ තාක්‍ෂණය ප‍්‍රවර්ධනය කළ යුතු බව ද වෛද්‍ය මතයයි. (ළමා ස්නායු රෝග විශේෂඥ අනුරුද්ධ පාදෙණිය, දොරමඬලාව, ස්වාධීන රූපවාහිනී සේවය, 2013.08.19) එමඟින් කිරි අඩුවීමෙන් පීඩා විඳින මව්වරුන්ට විසඳුම් ලැබෙනු ඇත. මේ හැර සිය මව බිළිඳාට මව් කිරි දීමේ අවශ්‍යතාව හොඳින් වටහා ගත්, ඒ සඳහා සියලූ ජීව සාධකවලින් යුත් වැඩ කරන කිිරි මවක් මෙම තත්ත්වයට මුහුණ දෙන ආකාරය විමසීම ප‍්‍රස්තූථයේ දී වැදගත් වේ.

වැඩ කරන කතුන් සඳහා ප‍්‍රසූත නිවාඩු

ශී‍්‍ර ලංකාවේ ස්ථිර, තාවකාලික, අනියම් ලෙස සේවය කරන්නියනට නීත්‍යානුකූල විවාහයකින් ලැබෙන සෑම සජීවී දරු උපතක් සඳහා ම රජයේ වැඩකරන දින 84 ක සම්පූර්ණ වැටුප් සහිත නිවාඩුවක්, රජයේ නිවාඩු, සෙනසුරාදා, ඉරිදා සහිතව තවත් අඩ වැටුප් සහිත දින 84 ක නිවාඩුවක්, වැටුප් රහිතව එවැනි තවත් දින 84 ක නිවාඩුවක් ලබාගත හැකිය. දරුවාට වසරක් සම්පූර්ණ වනතුරු රාජකාරි වේලාවෙන් පැයක් කිරි පැය ලෙස ලබාගැනීමට ද හැකි වේ. නමුදු, මේ සියලූ වරප‍්‍රසාදයන් රාජ්‍ය අංශයේ නිලධාරිනියන් හා සේවිකාවන් පමණක් ම ලබාගන්නා අතර, පෞද්ගලික අංශයේ වැඩකරන කිරි මව්වරුන්ට සිදුවන්නේ වැටුප් සහිත මුල් දින 84 පමණක් ලබාගැනීමටය. දරුවන් ලබා නිවාඩු යන හේතුව නිසා ම ඇතැම් පෞද්ගලික අංශවල පාලනාධිකාරීන්, ස්තී‍්‍රන්ට රැුකියා අවස්ථා ලබාදීමට මැලිවන බවක් ද මෙහි ම සඳහන් කළ යුතුය.

අර්ධ රාජ්‍ය අංශයේ සේවාස්ථාන ද, ආයතන ප‍්‍රධානියාගේ තීරණය මත බොහෝ විට ප‍්‍රසූත නිවාඩු මුල් දින 84 න් ම කෙළවර කරයි. බහුතර වැඩ කරන කිරි මව්වරුන් එවිට මාස 4 ක් පමණ වයසැති තම බිළිඳා වෙනුවෙන් එදාමෙදා තුර අනුගමනය කළ හොඳම විකල්පය වූයේ ආදේශක ළදරු කිරි පිටි භාවිතයයි. උක්ත දැක්වූ කරුණු පරිදි ආදේශක ළදරු කිරි පිටිවල විටින් විට මතුවන අන්තරායකාර තත්ත්වයන් හේතුවෙන් මෙවැනි මව්වරුන් මුහුණ දෙන්නේ බරපතල මානසික පීඩාවකටය. මෙවැනි පසුබිමක වෛද්‍යවරුන් ලබාදෙන විසඳුම ”මවට එරෙන කිරි දොවා ගබඩා කර පසුව දරුවාට ලබා දීමයි.”

වැඩ කරන කිරි මව හා කිරි දෙවීම

ශී‍්‍ර ලාංකේය වැඩ කරන ස්ති‍්‍රයගේ දිනචරියාව ඇරඹෙන්නේ සාමාන්‍යයෙන් අලූයම 3 හෝ 4 වැනි පැයක දීය. අනතුරුව සාමාන්‍යයයෙන් ආහාර වේල් 2 ක් සඳහා ඉවුම්-පිහුම් සිදු කරන ඇය, සැමියාගේ කටයුතු ද වැඩිමහල් දරුවන් සිටී නම් ඔවුන්ගේ කටයුතු ද ඉටු කොට දනිපනි ගා රැුකියාවට දුවගොස් රාජකාරිය ද ඉටු කොට, නිවසට ළඟා වන්නේ ඇඳිරි වැටෙන 18 පැය ද ඉක්මවා ය. (ප.ව.6.00) රාතී‍්‍ර ආහාරවේල ද බොහෝ විට සැකසෙන්නේ ඇය අතිනි. කිරි දරුවකු නිවසේ සිටින කල නිවසට පැමිණි සැණින් ඇයගේ අවධානය දරුවා වෙත පිරිනැමිය යුතු අතර, (දරුවා දිවා කල රැුක බලා ගැනීම වෙනම ගැටළුවක් ලෙස සාකච්ජා කළ යුත්තකි.) බිළිඳා ද පියවුරු තුඩු මුවේ රඳවා ගැන්මට මඟ බලා සිටී. එවැනි විටක කිරි උරා බීමට සලස්වන අතර, කිරි දෙවීම ප‍්‍රායෝගිකව අපහසුය. සාර්ථක ද නොවේ. එපමණක් නොව, කිසියම් නිශ්චිත කාල පරාසයක් තුළ පියවුරුවලින් කිරි ඉවත් නොකළහොත්, කිිරි සිඳීයාම සිදු වන බව නොරහසකි. එනම්, දිවා කල අවම වශයෙන් දෙවරක් හෝ තෙවරක් පියවුරුවලින් කිරි ඉවත් කිරීම හෝ දොවා රැුගෙන තැබීම කළ යුතුමය. මෙය සිදු කළ යුත්තේ කාර්යාල හෝ වැඩ කරන සේවා පරිශ‍්‍රයන් තුළ දී නොවේද?

සේවාස්ථානය තුළ මව් කිරි දෙවීම

වැඩ කරන ස්ථාන තුළ ළමුන් බලාගන්නා ස්ථාන ඇති කළ යුතු බවත්, කිරි දොවා තබා ගැනීමේ පහසුකම් ලබා දිය යුතු බවත්, පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස පවසයි. (දොරමඬලාව, ස්වාධීන රූපවාහිනී සේවය – 2013.08.19) අද කාර්යාලයේ දී දොවාගන්නා කිරි, හෙට දරුවාගේ ආහාර වේල සඳහා එකතු කළ හැකි බව ඇගේ අදහසයි. සැබැවින් ම, වෛද්‍යවරුන්ගේ එකී නිර්දේශයන් මෙරට රැුකියා ස්ථානයන් හා එහි ව්‍යුහයන් තුළ ගැලපෙන්නේ ද යන්න සැකයකි. සේවා ස්ථාන ආශ‍්‍රිතව දිවා සුරැුකුම් මධ්‍යස්ථාන යන්න කාලයක් තිස්සේ කතාබහට ලක්වන, එහෙත් සම්පූර්ණ නොවූ අවශ්‍යතාවයකි. වත්මන් “කිරි දෙවීමේ අවශ්‍යතාවය හෝ කාර්යාල ආශි‍්‍රතව විසඳා ගත හැකිදැයි යන්නට යම් අවබෝධයක් ලබා ගැන්මට කදිම නිදසුන් කිහිපයක් මෙහි ලා සඳහන් කළ යුතුය.

කලක් රජයට සම්බන්ධ බොහෝ පහසුකම් සපිරි මාධ්‍ය ආයතනයක සේවය කළ මා එහි දී අත්දුටු සත්‍යයය නම් “කාන්තා විවේක කාමර” හුදෙක් අංශ ප‍්‍රධානීන්ගෙන් ගැලවීම සඳහා නිදා ගැන්මට, මේකප් දැමීමට, කොණ්ඩා සැකසීමට, ඕපාදූප දෙඞීමට, ඇඳුම් සකසා ගැනීමට පමණක් යොදා ගන්නා ස්තී‍්‍ර සමාජ ශාලාවන් බවය. එහි නිස්කලංකය ඇතිව කිරි දෙවීමට කිසිසේත් ම සුදුසු පරිසරයක් නැත. කෙනෙක් පැමිණ “කිරි මදිද?”, “බබා හොඳට කිරි බොනවද?”, “කිිරි පරණ වන්නේ නැතිදැයි” අසමින් මවට ප‍්‍රශ්න වැළක් ඉදිරිපත් කරනු ඇත.

වර්තමානයේ ගුරුවරියක වශයෙන් රජයේ පාසලක සේවය කරන මම, ගුරු විවේකාගාර සම්බන්ධයෙන් මේ වන විටත් කටුක තත්ත්වයන් අත්දකිමි. පිරිමි, ගැහැණු එකට යාබද වැසිකිළි පිහිටි, ආහාර ගැනීමට ඇති මේසය වැසිකිළියට ඝෘජුව දර්ශනය වන, නිරතුරුව කරාමයෙන් ජලය ගලා යන, හතරවටින් ම විවෘත පරිසරයක ඇති එවැනි විවේකාගාරයක සිට උනුන් සිරුරේ හප්පා ගනිමින් තදබදය මැද කිරි දෙවීම, සිතීමට ද නොහැකි බව තරයේ සඳහන් කරමි. රාජ්‍ය අංශවල අත්දැකීම් සහිතව, මම මෙම ගැටළුව රටේ නමගිය සුපිරි පහසුකම් සපිරි පෞද්ගලික අංශයේ සේවය කරන කිරි දෙන මිතුරියකට ඉදිරිපත් කළෙමි. “කිරි දොවන්න තැනක් නැති එක තමයි ප‍්‍රශ්නෙ. ලන්ච් රූම් එකේ හැමතැන ම කෑම දාලා මැස්සෝ පිරිලා. ෆයිලින් රූම් එක තමයි (ලිපිගොනු කාමරය) තියෙන්නේ. ඒකේ ඒ්.සී. තියා, ෆෑන් එකක්වත් නෑ. දාඩිය පෙරා ගෙන කිරි දොවන්නේ කොහොමද?” අදාල නිදර්ශන ඉදිරිපත් කරන ලද්දේ මෙරට සේවාස්ථාන තුළ කිරි දෙවීමේ සුදුසු පරිසර තත්ත්වයන් නොමැති බව සනාථ කරනු සඳහාය. ඒ හැර ආයතන ප‍්‍රධානීන්ගෙන් ලැබෙන සහාය, ඒ සඳහා කාලවේලාව වෙන්කරදීම ද ගැටළුවේ ම දිගුවක් වනු ඇත. එසේම කිරි දෙවීමෙන් අනතුරු කාමර උෂ්ණත්වය යටතේ තබාගත හැක්කේ පැය 6 ක කාලයක් පමණක් බැවින්, නිවසට යන කාලය තෙක් සිසිල් කර තබා ගැනීමට ශීතකරණ පහසුකම් ද එක්විය යුතුය. මේ සියල්ල යථා කාලයේ දී හෝ සම්පූර්ණ කර ගැන්මට අවධානය යොමු නොවනතාක් මව් කිරි ප‍්‍රවර්ධනය පුහු නිර්දේශයක් පමණක් වනු ඇත.

වෛද්‍ය රේණුක ජයතිස්ස පවසන පරිදි පිලිපීනය වැනි රටවල් ස්ථාපනය කොට ඇති “මව් කිිිරි බැංකු” ආදර්ශකයක් කොට, නාගරිකව නොහැකි නම් ග‍්‍රාමීය පරිසරය ආශි‍්‍රතව ”මව් කිරි බැංකු” පිහිටුවීම මෙරට වැඩ කරන කතුන් සඳහා තවත් විකල්ප විසඳුමක් ගෙනෙනු ඇත. යුරෝපීය රටවල් මේ වනවිටත් මව් කිරි අලෙවි කිරීමේ අදියර දක්වා සිය මව් කිරි ප‍්‍රවර්ධන වැඩසටහන් රැුගෙන විත් ඇති බව අප අවධානයට ලක්විය යුතු ය. වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පවසන්නේ, මෙරට මව් කිරි කළමනාකරණ ඒකක රෝහල් මට්ටමෙන් අසාර්ථක වී ඇති බවත්, මව් කිරි දීමේ තාක්‍ෂණය තවදුරටත් වැඩි දියුණු කළ යුතු බවත්, සීමාවාසික වෛද්‍යවරුන්, නාරි හා ප‍්‍රසව වෛද්‍යවරුන්, ළමා වෛද්‍යවරුන්, හෙදියන් ඒ අරඹයා පුහුණු කළ යුතු බවත්ය. (දොරමඬලාව, ස්වාධීන රූපවාහිනී සේවය – 2013.08.19)

මව් කිිරි ප‍්‍රවර්ධනය සෑම කිරි දෙන මවකට ම එකසේ වැදගත් කරුණක් වන නමුත්, වැඩ කරන කිරි මව ඉලක්ක කර ගනිමින් මෙහි යම් අංශයක් හෝ කි‍්‍රයාත්මක කළ යුත්තේ ඈ වටා පවතින සමාජ, වෘත්තීමය, කුටුම්භමය ගැටළු රැසක් නිසා ම ය. මක්නිසාද යත් උක්ත ඉදිරිපත් කළ දරුවන් රැක බලා ගැන්ම හා මව්කිරි ලබා දීම යන්න ගැටළුවක් වී ඇති නිසාම වත්මන් ශී‍්‍ර ලාංකික කතුන් දරුවන් වැදීම පිිළිබඳව ස්වයං වාරණ පනවා ගෙන ඇති බැවිණි. අධ්‍යාපනය, විරැුකියාව හෝ ආර්ථික අපහසුතා හේතුවෙන් ම විවාහ වන වයස කල්දමා ගන්නා ශී‍්‍ර ලාංකික තරුණියන් මඳ සරුභාවයෙන් ද පීඩා විඳී. සමාජයෙන් ගැහැණිය සඳහා ම එල්ල කරන “වඳ ගැහැණිය” යන අධම සාම්ප‍්‍රදායික නින්දාවට ඇති ලැඡ්ඡුාව හා බය නිසා ම වදෙන් පොරෙන් එක් දරුවකු හෝ බිහිකරන්නට උත්සාහ දරන ඇය, අනතුරුව මුහුණ දෙන්නේ දරුවා රැක බලා ගැනීමේ හා පෝෂණය කිරීමේ (මාස 6 ක් ගතවන තුරු මව් කිරි පමණක් ලබාදීම ද ඇතුළත්ය) ගැටළුවලටය.

මෙම භූමිය පාලනය කරන භූපතීන්, මිනිස් ප‍්‍රාණියකුගේ වැදීම, හැදීම පිළිබඳ වඩා සැලකිලිමත් විය යුත්තේ එය රටක අනාගතය උදෙසා වන බැවිණි. පවුල් කුටුම්භය මෙන්ම රටේ ආර්ථිකය උදෙසා උර දෙන මෙරට වැඩ කරන ගැහැණිය සුරකිනු වස් වැඩ බිම් හෝ කාර්යාල මට්ටමෙන් දියත් කළ යුතු බොහෝ වැඩ සටහන් අතරට “මව් කිරි ප‍්‍රවර්ධනය” ද එක්කර ගත යුතුය.

වත්සලා ගමගේ

Cartoon 5

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s