ලෝක කම්කරු නැගිටීම් හා ස්තී‍්‍ර නායකත්ව ඉතිහාසය

Pushpa 1ජාත්‍යන්තර කම්කරු අරගල හා වෘත්තීය සමිති ඉතිහාසය සොයා යන දිගු ගමනේ දී එහි මූලාරම්භය හමුවන්නේ 18 වන සිය වසේ දී යුරෝපයේ සිදුවන කාර්මික විප්ලවය හා සමාන්තරව සිදු කෙරෙන ක‍්‍රියාකාරිත්වයන් සමගිනි. එවකට පැවැති ඇමෙරිකානු වෘත්තීය සමිතිවල ප‍්‍රධාන භූමිකාව වූයේ කම්කරුවන්ගේ ස්වාධීනත්වය දිනා ගැනීම උදෙසා අරගල කිරීමයි. එලෙසින් ඔවුන් විසින් හඳුන්වා දෙනු ලැබූ කම්කරු ස්වාධීනත්වය පිළිබඳ අදහස්, එනම් කම්කරුවන්ගේ නිදහස මෙන්ම ඔවුන්ගේ වෘත්තීය ආරක්ෂාව සලසාලීම යනා දී වශයෙන් වූ කාරණාත් ඒ සඳහා කරනු ලැබූ අරගලයනුත් පසුව ඇමෙරිකානු සංස්කෘතියේ ම අංගයන් බවට පත් වූයේ මෙබඳු අරගල නිසාම ඒවායේ වැදගත්කම මහජනයාට හා බලධාරීන්ට අවබෝධ වීමේ ප‍්‍රතිඵලයන් වශයෙනි.

කෙසේ හෝ 19 වන සියවසේ දී එනම් 1866 දී ඇමරිකා එක්සත් ජනපදයේ දී ජාතික වෘත්තිය සමිතිය අරඹමින් සියලූම ආකාරයේ කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන්නට පටන් ගත්තේ කිසියම් වෘත්තියකට පමණක් සුවිශේෂී තත්ත්වයන් හෝ මූලිකත්වයක් නොදෙමිනි. මෙයින් අවුරුදු තුනකට පමණ පසුව 1869 දී ‘නයිට්ස් ඔෆ් ලේබර්’ බිහි වූයේ 700,000 ක පමණ සාමාජිකත්වයක් ද ඒ වටා ඒකරාශී කර ගනිමිනි. එහි මූලික පරමාර්ථ හා අභිප‍්‍රායන් වූයේ කම්කරුවන්ගේ සේවා මුරය පැය අටකට සීමා කිරීම හා ළමා කම්කරුවන් සේවයෙහි යෙදවීමට විරෝධය ප‍්‍රකාශ කිරීමේ වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමයි.

ඔවුන් සිය අභිප‍්‍රායයන් සපුරා ගනිද්දී ඇමෙරිකාවේ වඩාත් ම ජනප‍්‍රිය වෘත්තීය සමිතිය වන්නේ ඇමෙරිකානු වෘත්තීය සමිති (ඇමරිකන් ෆෙඩරේෂන් ඔෆ් ලේබර්) සම්මේලනයයි. එම සංවිධානයේ කූට ප‍්‍රාප්තිය වන විට එහි සාමාජිකත්වය මිලියන 1.4ක් දක්වා ඉහළ ගොස් තිබිණි. ඒ.එෆ්.එල් විසින් නිරන්තරව කරන ලද අරගලයන් වූයේ ඔවුන්ගේ සාමාජිකත්වය උදෙසා වැටුප් වර්ධක ලබා දීමට හා සේවා ස්ථානයේ වෘත්තීය ආරක්ෂාව ලබා ගැනීම සඳහා අදාල ආයතන හා බලධාරීන් සමග කේවල් කිරීමයි. මේ අරගලයන් ඔවුන්ට සාර්ථක ප‍්‍රතිඵලයන් ලබා දෙමින් අවසන් වූයේ ඔවුන්ගේ ජනප‍්‍රියත්වය වඩාත් තහවුරු කරමිනි.

දෙවැනි ලෝක සංග‍්‍රාමය පවතින කාල වකවානුව තුළ ඉන්ඩස්ටි‍්‍රයල් ඕර්ගනයිසේෂන් හා ඒ.එෆ්.එල්. සංවිධාන වඩාත් පුළුල් ලෙස වර්ධනය වූ අතර 1955 වනවිට මෙම වෘත්තිය සමිති එකට ඒකාබද්ධව එකම සංවිධානයක් සේ කටයුතු කරන්නට ද පටන් ගති.

වෘත්තීය සමිති ක‍්‍රියාකාරිත්වයන් හා සමගාමීව සිදු කෙරුණු ‘පුල්මන් වැඩ වර්ජනය’ කම්කරු දිනයක් ඉතිහාසයේ සටහන් කරලීමේ පෙරටුගාමී කාර්යය ද භාර ගත්තා වැනි විය. 1893 දී රට පුරා ඇති වූ ආර්ථික අර්බුදය පදනම් කරගෙන පුල්මන් මෝටර් රථ සමාගම මගින් එම කර්මාන්ත ශාලාවල සේවය කළ කම්කරුවන්ගේ වැටුප් කප්පාදුවක් අත්තනෝමතික ලෙස සිදු කරනු ලැබිණි. මෙයින් අපේක්ෂා භංගත්වයට හා අපහසුතාවයට පත්වූ එම සමාගමේ කම්කරු සේවකයෝ ඇමෙරිකානු දුම්රිය සේවක සංගමය හා එක් වී මහා වැඩ වර්ජනයක් දියත් කළහ. සේවක වැඩ වර්ජනයට අමතරව පුල්මන් මෝටර් රථ විකිණීම සඳහා දුම්රිය මගින් ප‍්‍රවාහනය කිරීමට ද විරෝධය පාමින් ඔවුහු අරගල කළහ. මෙම දැවැන්ත වර්ජනයට 125,000 ක පමණ කම්කරු පිරිසක් සහභාගී වූ අතර එමගින් දුම්රිය මාර්ග 29 ක් අවහිර කරනු ලැබිණි. වර්ජනය කඩාකප්පල් කිරීමට අදාල බලධාරීහු එවකට පැවති ඇමෙරිකානු රාජ්‍ය පාලකයන් සමඟ අත් වැල් බැඳ ගෙන කටයුතු කළහ. වර්ජනය මර්දනය කරනු පිණිස හමුදා බලය යොදා ගැනුණේ ඉහළ පෙළේ හමුදා නිලධාරීන්ගේ උපදෙස් මත හමුදා සෙබළුන් 2000 ක් පමණ යොදා ගනිමිනි. හමුදා සෙබළුන්ගේ මැදිහත් වීම හා ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියාවන් නිසා වර්ජනය අසාර්ථක වූ අතර මෙම අරගලයේ දී කම්කරුවන් 13 දෙනෙකු මරා දමනු ලැබිණි. 57 දෙනෙක් බරපතල තුවාල ලැබූහ.

මේ සිද්ධිය සමරන්නට එතෙක් සැප්තැම්බර් මාසයේ පළමු සතියේ සැමරූ ‘කම්කරු දිනය’ මෙම වර්ජනය තිබුණු ජූනි මාසයට යොදා ගන්නට එවකට සිටි ජනාධිපති තුමා තීරණය කළේය. ඒ සඳහා ඔහු කළේ අරගලයේ දී මියගිය කම්කරුවන් 13 දෙනාට කරන ගරු කිරීමක් ලෙසින් හා රටේ ආPushpa 2ර්ථික සංවර්ධනයට උර දෙන කම්කරුවන්ට උපහාරයක් ලෙසත්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට එම දිනය රිසි සේ නිදහසේ ගත කරන්නටත් එදින නිවාඩු දිනයක් කිරීමයි.

කෙසේ වෙතත් විසිවන සියවසේ මුල් භාගයේ දී බටහිර ලෝකයේ පැවැති ‘ස්තී‍්‍ර වෘත්තීය සමිති සංසදය‘ පිළිබඳව බොහෝ ආයතන පමණක් නොව ස්තී‍්‍රවාදීන් ද අමතක කර දමනු ලැබිණි. එනමුදු එවකට ස්තී‍්‍රන්ගේ සේවා ස්ථානවල පැවති තත්ත්වයන් වඩාත් යහපත් කරන්නටත් ඔවුන්ගේ අයිතිවාසිකම් රැක දෙන්නටත් මුල් අඩිතාලම දමා කැපවීමෙන් කටයුතු කළේ යුරෝපයේ තිබුණු ස්තී‍්‍ර වෘත්තීය සමිති සංසදයයි. එමගින් ඇඟළුම් කම්කරුවන්ගේ වෘත්තීය අයිතිවාසිකම් පිළිබඳව දැඩි උනන්දුවකින් කටයුතු කළා පමණක් නොව යහපත් සේවා තත්ත්වයන් යටතේ සේවාවන් සැපයීම සඳහා වන ව්‍යවස්ථා සංශෝධනයන්ට කර්මාන්ත ශාලා හිමිකරුවන්ට හා අදාල බලධාරීන්ට බලපෑම් කරමින් අරගල කරමින් කම්කරු පන්තිය වෙනුවෙන් ඉමහත් කාරය භාරයක් ඉටු කරනු ලැබිණි. මෙමගින් කම්කරු ස්තී‍්‍රන් කෙරෙහි වඩාත් සුවිශේෂී අවධානයක් යොමු කරනු ලැබුවේ එවකට පැවති අනෙකුත් පුරුෂ කේන්ද්‍රීය වෘත්තීය සමිති, ස්තී‍්‍ර කම්කරුවන්ගේ ප‍්‍රශ්න හා ගැටළු ඔවුන්ගේ න්‍යාය පත‍්‍රවලින් බොහෝ සේ බැහැර කළ බැවිනි.

ඇමෙරිකානු වෘත්තීය සමිති ඉතිහාසයේ මුල්ම ස්තී‍්‍ර වෘත්තීය සමිතිය නිර්මාණය වන්නේ ‘ලොවෙල් ඇඹරුම් හල්’ කම්කරු ස්ත‍්‍රීන්ගේ වෘත්තීය අරගල හරහාය. ස්තී‍්‍රන්ට ඡුන්ද අයිතියවත් නොතිබුණු යුගයක එනම් 1830 වර්ෂයේ දී මෙම ලොවෙල් ඇඹරුම් හල් සේවිකාවන් සිය අයිතිවාසිකම් වෙනුවෙන් වැඩ වර්ජනවල යෙදෙමින්, එසේම දේශපාලනය සඳහා ස්තී‍්‍රන්ට ඇති අයිතිය ද මතුකරමින් ඇමෙරිකානු ඉතිහාසයේ මෙන්ම මුළු ලෝකයේ ම ප‍්‍රථම ස්තී‍්‍ර වෘත්තීය සමිතිය බිහි කරනු ලැබිණි. දශක ගණනාවක් තිස්සේ වර්ධනය වූ මෙම වෘත්තීය අරගලයන් වඩාත් ඉස්මතු වූයේ, 1900 වන විට අවුරුදු විස්සට අඩු සංක‍්‍රමණික යුදෙව් යෞවනියන්ගේ වර්ජනය සනිටුහන් කළ ‘යං විමෙන් ෂර්ට් වේස්ට් මේකර්ස්’ වෘත්තීය සමිතියේ නැගිටීමත් සමඟය. මොවුන් ඉතාමත් ප‍්‍රබල වෙනසක් කම්කරු ඉතිහාසය තුළ ඇති කරන්නට සමත් වූයේ ස්තී‍්‍ර කම්කරුවන්ගේ මානව හිමිකම් දැඩි ලෙස ප‍්‍රශ්න කරමින් ඒ සඳහා සටන් කරන්නට වූ නිසා හා ඒ සමගම කම්කරුවන්ගේ වෘත්තීය සුරක්ෂිතභාවය උදෙසා නීති සකස් කරන්නට ද මුල් වරට මැදිහත් වූ බැවිනි.

ස්තී‍්‍ර වෘත්තීය සමිති ඉතිහාසයේ සනිටුහන් වන තවත් ප‍්‍රබල සටනක් වන්නේ ඇට්ලන්ටාවේ රෙදි අපුල්ලන කළු ජාතික කම්කරු ස්තී‍්‍රන්ගේ වර්ජනයයි. 1881 දී සිදු කෙරුණු මෙම මහා වර්ජනයෙන් සියලූම ව්‍යාපාරික හා දේශපාලනික කටයුතු අඩාල කොට අකර්මන්‍ය කොට මුළු නගරය ම කලඹාලන්නටත්, අඩපණ කරන්නටත් සමත් විය.

මෙම අරගලයන් කරද්දී බොහෝ පිරිමින් සිතුවේ කම්කරු ස්ත‍්‍රීන් වැඩ නොකොට ගෙදර දොරේ වැඩ කටයුතු හා දරුවන් බලා ගෙන නිවසේ ම සිටිය යුතු බවටයි. පිරිමින් පමණක් නොව බොහෝ පසුගාමී ස්තී‍්‍රන්ගේ බහුතර මතය වූයේ ද එයයි. එහෙත් මේ මතවාදයන් බිඳිමින් හා හෙළා දකිමින් විසිවන සියවසේ මුල් දශක දෙකේ දී පතල් කම්කරුවන්ගේ අයිතීන් උදෙසා ප‍්‍රබල හඬක් නැගූ මේරි හැරිස් ජෝන්ස් හෙවත් ‘මදර් ජෝන්ස්’ වෘත්තීය සමිති ඉතිහාසය තුළ නොමැකෙන නාමයකි. ඇයගේ සටන්කාමීත්වය බොහෝ පිරිමින් නුරුස්නා දෙයක් විය. එනිසා ම එක් දිස්ත‍්‍රික් ඇටෝනිවරයෙක් ඇයව හඳුන්වා සිටියේ, ‘ඇමෙරිකාවේ සිටින මහත් භයානක ම ගැහැණිය’ ලෙසින්ය.

ඇයගේ ප‍්‍රබල හඬ හා මෙහෙයවීම ඇයගේ වයසින් අඩක් පමණ වූ පිරිමි කම්කරුවන් අවදි කොට ඔවුන්ගේ අයිතීන් ඉල්ලීම සඳහා පෙළඹවූවා පමණක් නොව ඔවුන්ගේ බිරියන් හා දියණියන් ද මේ සටනට එකතු කර ගන්නට තරම් ශක්තිමත් විණි. ඇය අරගලයන් සංවිධානය කළේ වෙනස් ආකාරයකටය. කම්කරුවන්ගේ බිරියන්ව කොසු හා මුසුන් දී පතල් අබියස රැකවලේ යෙදෙන්නට යෙදැවූ අතර කම්කරුවන්ගේ දරුවන්ව වේදිකාවලට නංවමින් උද්ඝෝෂණ ව්‍යාපාරවල යෙද වූයේ, ‘අපට යන්නට ඕනෑ පාසල් වලටයි. පතල් වලට නොවේ’ යන පිකට් පුවරු අතට දෙමින් හා සටන් පාඨ කියවමින්ය.

Pushpa 3ඇය කම්කරුවන්ගේ ‘අම්මා’ යන නමින් විරුදාවලි ලැබුවේ 1897 ජූනි මස පැවැත්වුණු දුම්රිය සේවක සංගමයේ සම්මේලනය ඇමතූ පසුයි. එසේම 9000ක් පමණ පතල් කම්කරුවන්ගේ සටන වෙනුවෙන් ඇය මූලිකත්වය දෙමින් ඉදිරිපත් වූ විට ඇයගේ එම නම, ‘මදර් ජෝන්ස්’ නමින් වඩාත් හහවුරු විණි. ‘මදර් ජෝන්ස්’ සේම ස්තී‍්‍ර වෘත්තීය සමිති ඉතිහාසය තුළ සනිටුහන් වූ නම් අතර සාරා බාග්ලේ, ලින්ඩා හවේස් තොම්සන්, එලෙසබෙත් ගර්ලි ෆ්ලින්, රෝස් ෂ්නිඩර්මන් හා ලෙනෝරා එම්. බැරි කැපීපෙනෙන වෘත්තීය සමිති නායිකාවෝ ද වෙති. ලෙනෝරා එම්. බැරි ගැන මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ ඇය ‘නයිට්ස් ඔෆ් ලේබර්’ සංවිධානයේ ජාතික මට්ටමේ සිටි එක ම කාන්තාව බැවිනි.

ලෝකය පුරා වැඩ කරන කම්කරුවන් සිය සේවා ගරුත්වය සමග අයිතිවාසිකම් දිනා ගනු පිණිස අත් වැල් බැඳ ගත යුතු වෙයි. එසේ කළ යුත්තේ ඔවුන් ලොව කොතැනක සිටියත් එක සමානව සේවා ගැටළුවලට මෙන්ම කම්කරු අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම්වලට මුහුණ දෙන බැවිනි. එසේම කිසිවෙකුත් බන්දේසියක තබා අයිතිවාසිකම් කම්කරු දෝතට පිළිනොගන්වන බැවින් කම්කරු අයිතිවාසිකම් දිනා ගැනීමට අරගල කළ යුතු බැවිනි. බොහෝ රටවල තරුණ ප‍්‍රජාව පවතින විරැකියාව නිසා රැුකියා සොයා ගැනීම සඳහා අනවරත අරගලයක යෙදී සිටින අතර කම්කරු සේවක සේවිකාවෝ යහපත් ජීවන තත්ත්වයන් නොමැතිව, අඩු වැටුප් සඳහා සේවා සපයමින් ඒවායේ අඩු පාඩුකම් නිවැරදි කර ගන්නට වෘත්තීය සමිති හරහා වෙහෙසෙති. මේ සියලූ සටන් හා අරගල ඒකරාශී කරමින්, එමෙන්ම ඒකාබද්ධ කරමින් ‘ජත්‍යන්තර කම්කරු ව්‍යාපාරය’ පොදුවේ කම්කරු නීති පිළිබඳව සිය අවධානය යොමු කරමින් කම්කරු අයිතීන් දිනා ගැනීම උදෙසා කටයුතු කරයි. ගිවිසුම් හා අදාල සංශෝධන ඉදිරිපත් කරමින් කම්කරුවන්ගේ ජීවන තත්ත්වය නංවාලීමට කැප වීමෙන් කටයුතු කරයි. සිය හවුල්කරුවන් සේම කම්කරු ප‍්‍රජාව යොදා ගනිමින් අදාළ ව්‍යවස්ථා සංශෝධනයන් සඳහා වෙහෙස දරමින් සිටියි.

ඔවුහූ වර්තමානයේ දී කොලොම්බියාව, පැනමාව, වියට්නාමය, මැලේසියාව, ජෝර්ජියාව, බංග්ලාදේශය හා ශ‍්‍රී ලංකාව වැනි රටවල කම්කරු නීති සංශෝධනයන් වෙනුවෙන් දැඩි අවධානයක් යොමු කරමින් අදාළ කාර්ය භාරයන්හි නියැලී සිටිතිි. එසේම එමගින් මධ්‍යම ඇමෙරිකානු නිදහස් වෙළඳ කලාප ගිවිසුම්වලට එරෙහිව ගෞතමාලාවේ පැමිණිල්ලක් ගොනු කර ඇත. එම ප‍්‍රශ්නයට සමගාමීව හොන්දුරාස්, කොස්ටාරිකා හා පේරූ යන රටවල්වල ද නිදහස් වෙළඳ කලාප ගිවිසුම්වලට එරෙහිව නඩු ගොනු කරන්නට සැලසුම් කරමින් සිටියි. එලෙසින් ම ගෝලීය වෘත්තීය සමිති සන්ධානයක අවශ්‍යතාව ඉස්මතු කරමින් නව වෙළඳ ගිවිසුම් පිළිබඳව ප‍්‍රබල කම්කරු සංවාදයක අවශ්‍යතාවය ද මතු කරමින් සිටියි.

එමගින් ගනු ලබන තීන්දු, තීරණ හා බලපෑම් ජාති, වර්ණ, දියුණු, නොදියුණු භේදයන්ගෙන් තොරව මුළු මහත් ලෝකයේ ම සමස්ත කම්කරු ප‍්‍රජාවටත්, පොදුවේ සියලූ කම්කරු වෘත්තීය සමිතිවලටත් භුක්ති විඳින්නට හැකි වනු ඇත යන්න අපගේ විශ්වාසයයි. ඒ අනුව සමස්ත කම්කරු ප‍්‍රජාවට ජයග‍්‍රහණයක් අත්පත් වේ නම් එය පොදුවේ මානව වර්ගයාගේ අහිවෘද්ධිය පිණිස පාදක වනු නොඅනුමානය.

ආචාර්ය පුෂ්පා රම්ලනී

මූලාශ‍්‍ර:
1. http://www.aflcio.org/Learn-About-Unions/International-Labor-Movement
2. http://www.theguardian.com/world/2010/jan/20/asian-women-trade-union-grunwick

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s