නිදහස් වෙළඳ කලාපවල දිය වන කම්කරු ස්ත‍්‍රී ශ‍්‍රමය

FTZWorkers 2තුන්වන ලෝකයේ රටවල් බොහොමයක් සිය සංවර්ධනය කරා ගමන් කිරීමේ දී උපාය මාර්ගයක් වශයෙන් අපනයන සැකසුම් කලාප පිහිටුවන ලදී. ශී‍්‍ර ලංකාව 1970 දශකය වන විට දරුණු ආර්ථික කඩා වැටීමකට මුහුණ දුන් අතර 1977 වන විට රැකියා වියුක්ත පිරිස 10,000,00 අධික විය. (ඩාඛිඳු, 1997) එබැවින් එම රැකියා වියුක්තියට පිළියම් ලෙස ශ‍්‍රී ලංකාවේ ද 1978 ප‍්‍රථම අපනයන සැකසුම් කලාපය කටුනායකින් ආරම්භ විය. ආයෝජකයින් දිරි ගන්වන දීර්ඝ කාලීන හා කෙටි කාලීන බදු සහන, ලාභ ශ‍්‍රමය, සියලූ යටිතල පහසුකම් හා නීතිමය වශයෙන් ආයෝජකයින් ආරක්ෂා කෙරෙන වටාපිටාව එවකට පැවති රජයන් විසින් සකසා දීම නිසා ලෝකයේ දැවැන්ත වෙළඳ සමාගම් ලංකාවේ සිය ආයෝජනයන් කිරීම සඳහා ඇදී ආහ. විවෘත ආර්ථික ප‍්‍රතිපත්ති කලඑළි බැසීමේ ප‍්‍රතිඵලයක් ලෙස කෘෂිකර්මාන්තය කඩා වැටුණු නිසා සැතපුම් සිය ගණන් ඈත පිටිසර ගම්මානවල තරුණ ස්තී‍්‍රන්ට ඇගළුම් කර්මාන්තය තුළ රැකියා අවස්ථා සුලබ විය.

එසේ පැමිණි අයගෙන් බහුතරය වයස අවුරුදු 18-35 අතර තරුණ ස්තී‍්‍රන් වූ අතර, අ.පො.ස. සා/පෙළ 59% ද අ.පො.ස. උ/පෙළ 19% ක් වූහ. (ඇඟළුම් ක්‍ෂේත‍්‍රයේ කම්කරු අයිතිවාසිකම් සඳහා වූ ව්‍යාපාරය – 2005). වෙනත් ප‍්‍රදේශයකට සංක‍්‍රමණය වී රැකියාව කිරීමට සිදුවීම තුළ නේවාසික වීමට සිදුව ඇති නිසා ඔවුන්ට ‘සැඟවුණු වියදම්’ පවා දැරීමට සිදු වී ඇත. (දෛනික වියදම්, අතහැර දමන ලද වේතන හෝ ප‍්‍රතිලාභ, මානව සංවර්ධන පිරිවැය, වැඩ පොළේ දී හා ප‍්‍රජාවේ දී නිතර ම ලිංගික අතවර වලට හෝ ප‍්‍රචණ්ඩත්වයට පවා මුහුණ දෙන ස්තී‍්‍රන්ගේ සමානත්වයට හා ස්වයං ගරුත්වයට වන බලපෑම සැඟවුණු වියදම් ලෙස සැලකේ.) මෙම සංක‍්‍රමණය වීම නිසා ප‍්‍රදේශයේ FTZWorkers 3සිටින ප‍්‍රජාවගේ ලිංගික අනුපාතය සම්පූර්ණයෙන් ම වෙනසකට භාජනය වීම ද, සීමිත ප‍්‍රදේශයක් තුළ අධික ජනගහණයක් කේන්ද්‍රගත වීම ද නිසා උප සංස්කෘතීන් බිහිව තිබීම ද විශේෂ ලක්ෂණයකි.

මේ වන විට නිදහස් වෙළඳ කලාපයන්හී රැකියා ඇබෑර්තු 30,000 කට ආසන්න ප‍්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර වයස අවුරුදු 16-17 ලාබාල සේවිකාවන් සදහා ද රැයා අවස්ථාව ලබා දීමේ ප‍්‍රවණතාවක් උදා වී ඇත.

වසර 30 ක්ම යුදමය වාතාවරණයකට මුහුණු දුන් උතුරු-නැගෙනහිර දමිල ස්තී‍්‍රන් ද මේ වනවිට නිදහස් වෙළඳ කලාපවල සේවය කිරීම සඳහා පැමිණ තිබීම විශේෂ ලක්ෂණයක් වන අතර සංස්කෘතික, ආර්ථික, සමාජමය ගැටළුවලට මුහුණ පෑමට ඔවුන්ට සිදුව ඇත. සමහර ආයතන ඔවුන්ගේ වැටුප් පත‍්‍රිකාව පවා දමිල භාෂාවෙන් ලබා දීමට කටයුතු නොකිරීම කණගාටුවට කරුණකි.

රෙදි පිළි, ඇඟළුම්, ඉලෙක්ට්‍රොනික හා විදුලි උපකරණ, සැකසූ ලෝහ, ප‍්‍රවාහන උපකරණ, පාවහන්, මුද්‍රණ හා කඩදාසි නිෂ්පාදන, රසායනික නිෂ්පාදන, සම්භාණ්ඩ වැනි නිෂ්පාදනයන් නිදහස් වෙළඳ කලාප තුළ නිපදවෙන අතර ආසියාවේ අනෙකුත් රටවලට සාපේක්ෂව ලංකාවේ නිදහස් වෙළඳ කලාපවල ඇඟළුම් ක්ෂේත‍්‍රය සඳහා වැඩි ඉඩකඩක් වෙන්වී ඇත. අනෙක් රටවලට සාපේක්ෂව ඒවා ගුණාත්මක අතින් ද ඉහළ මට්ටමක් ගනී. ඒ තුළිින් ශ‍්‍රී ලංකා ආර්ථිකයට වාර්ෂිකව සැලකිය යුතු ප‍්‍රමාණයේ විදේශ විනිමය අනුපාතයක් ලබා දෙන අතර 2012 වර්ෂය වනවිට එය 40.8%කි. (ඩොලර් මිලියන 3911කි.) (ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාව – 2012)

කටුනායක, බියගම, කොග්ගල යන ප‍්‍රධාන නිදහස් වෙළඳ කලාප තුළ කර්මාන්ත ශාලාවලින් බහුතරය පිහිටුවා තිබේ. මීට අමතරව ආයෝජන මණ්ඩලයට අයත් කාර්මික ජනපදවල හා පිටත දිස්ත‍්‍රික්ක කිහිපයක ද කර්මාන්ත ශාලා පිහිටා ඇත. කර්මාන්ත ශාලා ප‍්‍රමාණය 270 – 300 අතර ප‍්‍රමාණයකි.

වැටුප් තත්ත්වයන් :

ශ‍්‍රී ලංකාවේ අවම වැටුප් තීරණය වනුයේ පඩි පාලක සභා ආඥා පනතට අනුව අදාල පඩි පාලක සභාව මගින් ගනු ලබන එකඟතා මතය. (මීට අමතරව යම් සුවිශේෂි අවස්ථා වන හදිසි නීති රෙගුලාසි හෝ අය වැය සහන දීමනා වැනි ක‍්‍රියාමාර්ග මගින් වැටුප් වැඩිවීමට පුළුවන)
මීට අමතරව ආයෝජන මණ්ඩලය යටතේ පවතින කර්මාන්ත ශාලා සේවකයින් සඳහා වාර්ෂිකව වැටුප් වැඩි කිරීමක් කරනු ලබයි. එ් අනුව 2013 වසර අය-වැය සහන දීමනාව ද ඇතුළුව ඇගළුම් ක්‍ෂේත‍්‍රයේ නියුතු කම්කරුවෙකුගේ මාසික අවම වැටුප රු. 9,625 කි. මෙමගින් අනාවරණය කරගත හැක්කේ දිනකට පැය 08ක සේවා කාලයක් සහිත දින 30ක ජීවිතය ගෙනයාම සඳහා කම්කරුවෙකුට දිනකට උපයාගත හැක්කේ රු. 300 සිට රු. 363 අතර මුදලක් බවයි. එය රාජ්‍ය අංශයේ සේවකයෙකුගේ වැටුප හා සන්සන්දනය කරන විට ඉතා අඩු වැටුපකි. ඔවුහු අය-වැය සහන දීමනාව හා ජීවන වියදම් දීමනාව සමඟ රු.x 20,839 වැටුපකට හිමිකම් කියති.

ඇගළුම් කේෂ්ත‍්‍රයේ නියුතු කම්කරු ස්තී‍්‍රහු මෙම සේවය තුළ නොයෙකුක් සැඟවුණු වියදම් දරති. මේ සියල්ල සැලකිල්ලට ගනිමින් සේවයට නිශ්චිත වූ පැය 8ක සේවා කාලය සඳහා ජීවත් වීමට සරිලන වැටුප වශයෙන් රුපියල් 12,504.23 අගයක් 2005 වසරේ ඇඟළුම් ක්‍ෂේත‍්‍රයේ කම්කරු අයිතිවාසිකම් සඳහා වූ ව්‍යාපාරය විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් ඉදිරිපත් කරන ලදී. මෙම අගය 2013 වර්ෂය අවසානයේ ජීවන වියදම් දර්ශකයට ගැලපීමෙන් පසුව දළ වශයෙන් රුපියල් 27,940ක් පමණ වේ. නමුත් මෙම වැටුප වෙළඳ කලාප කම්කරු ප‍්‍රජාව වෙනුවෙන් කි‍්‍රයාත්මක නොවේ.

අඩු වැටුප් නිසා අමතර සේවා කාලයක් :

තමන්ට ලැබෙන වැටුපෙන් 60% ට වැඩි ප‍්‍රමාණයක් තම දෛනික වියදම් සඳහා වැය කිරීමට සිදුවී ඇති බැවින් අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් ඔවුන්ට අනිවාර්යෙන් ම අතිකාල වැඩ කළ යුතුව ඇත. එය දිනකට එක දිගට පැය 12- 16 දක්වා ද විය හැකිය. එමෙන්ම සති අන්ත නිවාඩු දිනයන් ද වැඩ කරන දින බවට පත්වීමෙන් විවේක කාලයක් අහිමිව ඇත. නමුත් අවම මූලික අවශ්‍යතාවන් ඉටු කර ගැනීමට වැඩි පැය ගණනක් සේවය කළ යුතුව ඇත. මූලික වැටුප අවම තත්ත්වයක පවතින නිසා ද අතිකාල, පැමිණිීමේ දීමනා, ඉලක්ක දීමනා, සේවා දිරිගැන්වීම් හා අනෙකුත් දිරි දීමනාවන්ගෙන් යුතු වැටුපක් සඳහා ඔවුහු වෙහෙසෙති. මෙසේ විවේකයක් නොලබා ම දින 30 ම සේවය කිරීමෙන් පමණක් ඔවුන්ට යාන්තමින් සිය අවම මූලික අවශ්‍යතාවන් සපුරා ගැනීමට හැකි වේ. අතිකාල සේවා නොලැබෙන අවස්ථාවල දී තම සේවා කාලය, ව්‍යවස්ථාපිත හිමිකම්වල රැුකවරණය ගැන පවා නොසිතා වෙනත් ආයතන වෙත ඇදීයාමට ඔවුන් වෙහෙස දරන්නේ මූලික වැටුපෙන් පමණක් ජීවත් විය නොහැකි නිසාය.

වැඩ කරන පැය ගණන සෞඛ්‍ය කෙරෙහි ඇති කරන බලපෑම –
ජාත්‍යන්තර කම්කරු සංවිධානය – 2003

– සතියකට පැය 48 ක් ඉක්මවා නිතිපතා වැඩ කිරීම සැලකිය යුතු ආකාරයේ වෘත්තීය වෙහෙසකර තත්ත්වයකට හේතු වේ. රැුකියා තෘප්තිය අඩුකොට අනෙකුත් ආතතීන් හි බලපෑම් වැඩි කරයි. ඒ අනුව මානසික ගැටළු පිළිබඳ අවදානම සැලකිය යුතු ලෙස ඉහළ නංවයි.
– සතියකට පැය 60 ට වඩා එක දිගට වැඩ කිරීම සහ සමහර විට සතියකට පැය 50 ට වඩා වැඩ කිරීම නිසා හෘද රෝග ඇතිවීමේ අවදානම ඉහළ යන බව පෙනේ.
– පුද්ගල ආකල්ප හා දිරි ගැන්වීම්, වැඩ කිරීමෙන් ඇති වන වෙහෙසට ඇතිවන ප‍්‍රතිචාරය වෙනස් කිරීමට හේතුවන බව පෙනෙන නමුත් ඒවා හෝ මනෝ විද්‍යාත්මක ප‍්‍රතිචාරවල වෙනස්වීම්, දිගුකාලීන සෞඛ්‍ය අවදානම් අඩු කරන්නේ ද යන්න තවමත් ප‍්‍රමාණවත් පරිදි පරීක්ෂාවට ලක්වී නැත.
– සෞඛ්‍යයට අහිතකර ශාරීරික රෝග ලක්ෂණ, දුම්පානය වැඩිවීම සහ අහාර අරුචිය හා අක‍්‍රමවත් ලෙස ආහාර ගැනීම වැනි චර්යාමය ආබාධ ඇතිවීමේ ප‍්‍රවනතාවය, දිගු පැය ගණන් වැඩ කිරීම නිසා ඇතිවන බව පෙනී ගොස් ඇත.
– සතියකට පැය 50 ඉක්මවා වැඩ කිරීමට සිදුවීම පවුල් සම්බන්ධතා කෙරෙහි අහිතකර ලෙස බලපාන බව සමහර සේවකයින් වාර්තා කර තිබේ.
– පැය ගණන් එක දිගට දීර්ඝ ලෙස වැඩ කිරීම නිසා කල් පිරීමට පෙර දරු උපත් සිදුවීම, පේෂිවල හා ඇටවල ආබාධ ඉහළ යෑම සිදුවන බවට සීමා සහිත සාධක ලැබී තිබේ.
– වැඩ කරන පැය ගණන දික්වීම නිසා සේවා ස්ථානයේදී ශාරීරික හා රසායනික උපද්‍රවවලට වැඩියෙන් නිරාවරණය වීමෙන් ඇතිවන බලපෑම් පිළිබඳ නිසි පරිදි පරීක්ෂණ සිදුවී නැති අතර එ් පිළිබඳ තක්සේරුවක් කිරීම ද අවශ්‍ය වේ.

FTZWorkers 1සේවකයින්ගේ සෞඛ්‍ය හා පෝෂණය :

වැඩුණු පුද්ගලයකුහට දිනකට කැලරි 3000ක් පමණ අවශ්‍ය වුවද, හේතු කිහිපයක් මත එම පෝෂණ තත්ත්වයන් මෙම ක්‍ෂේත‍්‍රයේ ශ‍්‍රමිකයයින් හට නොලැබේ. උපයන වැටුප් සීමාසහිත නිසා පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාගත නොහැකිවීම, අධික කාලයක් කර්මාන්තශාලා තුළ රැුදී සිටීමට සිදුවීම නිසා ආහාර සකසා ගැනීමට අවකාශ නොමැතිකම ආදී හේතූන් නිසා ඔවූහු පෝෂ්‍යදායී නොවන ආහාර රටාවන්ට හුරු වී සිටිති. විශේෂයෙන් නිදහස් වෙළඳ කලාපවල සේවයේ නියුතු සංක‍්‍රමණික කම්කරු ස්තී‍්‍රන්ගේ පෝෂණ මට්ටම් පිරිහීම නිසා රක්තහීනතාව, මන්දපෝෂණය වැනි සෞඛ්‍ය ගැටළුවලට මුහුණ පෑමට සිදුවී තිබේ. මෙම තත්ත්වයන් මත අනාගතයේ මව්වරුන් ලෙස මෙන්ම ඔවුන්ගෙන් බිහිවන පරපුරට ද බරපතල සෞඛ්‍ය ගැටළු ඇතිවිය හැකිය. 2009 කම්කරු දෙපාර්තමේන්තුව විසින් කාර්මික ආරක්‍ෂාව පිළිබඳ ව්‍යාපෘතිය යටතේ කරන ලද පර්යේෂණයේ දී දොස්තර නානායක්කර මහතා පවසා ඇත්තේ කටුනායක වෙළඳ කලාපයේ සේවිකාවන්ගෙන් 62% රක්කහීනතාවයෙන් පෙළෙන බවයි.

වෘත්තීය සෞඛ්‍ය :

මේවන විට රජයේ වගකිවයුතු ආයතන හෝ සේවායෝජකයින් වෘත්තීය සෞඛ්‍ය කෙරෙහි දැඩි අවධානයක් යොමුකර නොමැත. කම්කරුවන් වැඩි කාලයක් එකම ඉරියව්වකින් වැඩෙහි යෙදීම, දැඩි ලෙස ශ‍්‍රමය යොදවා වැඩ කළත්, වැය වන ශක්ති ප‍්‍රමාණයට සාපේක්‍ෂ ශක්ති ප‍්‍රමාණයක් ශරීරයට එකතු නොවීම, විදුලි ආලෝකය යටතේ වැඩ කිරීම, දුවිලි හෝ රෙදිවලින් පිටවන සියුම් අංශු ආශ්වාස කිරීම නිසා ඔවුන්හට කෙටිකාලීන හෝ දීර්ඝ කාලීන වෘත්තිමය සෞඛ්‍ය ගැටළුවලට මුහුණ පෑමට සිදුවිය හැකිය මෙතෙක් මේ පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණයක් සිදුවී නොමැත.

ජීවත් වන වටාපිටාව :

නිදහස් වෙළඳ කලාප ආරම්භ කර වසර 35කට ආසන්න කාලයක් ගතවුව ද, මෙම ප‍්‍රදේශයන්හි සේවකයින් ජීවත් වන වටාපිටාවන් තුළ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම පිළිබඳව ආයෝජන මණ්ඩලය හෝ රජය හෝ අදාල පරිපාලන ආයතනයන් හෝ ප‍්‍රමාණවත් සැලකිල්ලක් මේවන තෙක් යොමුකර නොමැත. ආයෝජකයින්හට සිය කර්මාන්ත පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය සියලූ පහසුකම් සැපයීමට පමණක් වගකිව යුතු ආයතන මේ දක්වා කටයුතු කර ඇත. කම්කරු ස්තී‍්‍රන්ට මේ වන විටත් සමාජ ආරක්‍ෂාව, පුද්ගලික ආරක්‍ෂාව, ප‍්‍රජා සෞඛ්‍ය, පානීය ජලය ඇතුළු ජල ප‍්‍රශ්න, ප‍්‍රවාහන පහසුකම්, ප‍්‍රමිතිගත නවාතැන් පහසුකම් ආදී වූ අනේක විධ පොදු ගැටළුවලට මුහුණ දීමට සිදු වී තිබේ. සංක‍්‍රමණික සේවකයන් වීම නිසා ප‍්‍රදේශයේ ඡුන්ද හිමිකම් ලැබී නැත. එනිසා ආපදා අවස්ථාවන්හි දී පවා ප‍්‍රාදේශීය දේශපාලකයන්ගේ ද අවධානයක් මෙම සේවකයින් කෙරේ යොමුවන්නේ නැත.

රැකියාවට ඇති සමාජ පිළිගැනීම :

වෙළඳ කලාපවල සේවය කරන කම්කරු ස්තී‍්‍රන්ට නිසි සමාජ ගෞරවයක් නොලැබීම නිසාවෙන් ඔවුන්ට වැඩබිම තුළ, මහමඟ දී සහ පොදු ස්ථානවල දීත් අතවරයන්ට ලක්වීමට සිදුවෙයි. මෙම සේවිකාවන් පත්ව ඇති ආසාධාරණ තත්ත්වයන්ගෙන් ප‍්‍රයෝජන ගන්නන්ගෙන් ද අඩුවක් නොමැත. සමාජ ආරක්‍ෂාව, ආදරය, විවාහය ගැන පොරොන්දු දී ඇති කර ගන්නා ව්‍යාජ සම්බන්ධකම්වල ප‍්‍රතිඵලය වන්නේ නීත්‍යානුකූල නොවන ගබ්සා කිරීම් හා ඒවායේ ප‍්‍රතිඵල ලෙස ජීවිතවලින් ද වන්දි ගෙවීමට සිදුවීමයි.

සංවිධානය වීමේ නිදහස හා සාමූහික කේවල් කිරීමේ අයිතිය :

වෘත්තීය සමිතියක් ගොඩනඟා ගත හැකිනම් සේවක සේවිකාවන්ට ඒ හරහා කේවල් කොට තම වැටුප් හා අනෙකුත් අයිතිවාසිකම් තහවුරු කර ගැනීමටත් තම ජීවිතවල හා වෘත්තීය ගෞරවය ආරක්‍ෂා කර ගැනීමටත් හැකියාව ලැබේ. ශ‍්‍රී ලංකාවේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව, 1935 වෘත්තීය සමිති ආඥා පනත සහ කාර්මික ආරවුල් පනතේ 1999 – 56 සංශෝධනය තුළින් සංවිධානගත වීම පිළිබඳ නීතිමය සන්දර්භය ප‍්‍රකාශයට පත්කර ඇත. තවද ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුති අංක 87 හා 98 සංවිධානය වීමේ අයිතිය හා සාමූහික කේවල් කිරීමේ ප‍්‍රඥප්තීන් ශ‍්‍රී ලංකා රජය විසින් අත්සන් තබා පිළිගෙන ඇත.

ශ‍්‍රී ලංකාවේ ඇගළුම් කර්මාන්ත ශාලා මඟින් විවිධ වූ යුරෝපීය හා ඇමරිකානු ගැනුම්කරුවන් සඳහා නිෂ්පාදනයන් සිදු කරනු ලබයි. මේ නිසාවෙන් ඔවුන්ගේ චර්යා ධර්ම පද්ධතීන් කි‍්‍රයාත්මක කිරීමට බැඳී සිටින නමුත්, බොහෝ අවස්ථාවන් හිදී ජීවත් වීමට සරිලන වැටුප් සංවිධානය වීමේ නිදහස ආදිය නිසියාකාරව කි‍්‍රයාත්මක නොවීමේ තත්ත්වයන් ඇත. යුරෝපා හවුල විසින් ලංකාවට ලබාදී තිබූ ජී.එස්.පී. ප්ලස් වෙළඳ සහනය අහිමි වීමට බලපෑ එක් හේතුවක් වූයේ මෙවැනි මූලික කම්කරු අයිතිවාසිකම් උල්ලංඝණය වීමය. ඇමරිකානු ජී.එස්.පී. බදු සහනය පිළිබඳව නැවත සලකා බැලීමේ දී ද මෙම කරුණු කෙරෙහි ඔවුගේ දැඩි අවධානය යොමුවී ඇත.

ආසියාවේ ශ‍්‍රම බලකායේ ස්වභාවය කුමක් ද?

පසුගිය දශක කීපය තුළ ලෝක ඇඟළුම් කර්මාන්තයේ නිෂ්පාදනයන් උතුරේ සිට දකුණට ගමන් කිරීමෙන් පසු ඇඟළුම් නිෂ්පාදනයේ ගෝලීය සැපයුම්දාමය තුළ ආසියානු කලාපය මේ වන විට සුවිශේෂි ස්ථානයක් බවට පත්වී ඇත. ලෝක ඇඟළුම් නිෂ්පාදනයෙන් 60% වැඩි ප‍්‍රමාණයකට දායකත්වය සපයන්නේ ශ‍්‍රී ලංකාව, චීනය, වියට්නාමය, බංග්ලාදේශය, ඉන්දියාව, පකිස්ථානය වැනි ආසියානු රටවල් මගිනිි.

මෙම සේවකයින්ගේ ශ‍්‍රමය මතින් නිපදවෙන ඇඟළුම් සැපයුම්දාමය, සිය දහස් ගුණයක අගය එකතුවෙමින් විශාල මිල ගණන්වලට අලෙවි වෙයි. එයින් නිෂ්පාදකයින්, සන්නම් හිමිකරුවන්, මහා පරිමාණ බහුජාතික සමාගම් ආදිය අධික ලාබ උපයා ගනිති. එහි සාධාරණ කොටසක්වත් සේවකයින්ගේ ශ‍්‍රමයේ වටිනාකම වෙනුවෙන් නොගෙවයි. ආසියානු කලාපය පුරා ම සේවකයින්ට තම ශ‍්‍රමය වෙනුවෙන් ලැබෙනුයේ නිෂ්පාදනයක වටිනාකමින් 1%-3% අතර ප‍්‍රමාණයකි. ඇඟළුම් නිෂ්පාදන පිරිවැය නැව්තොට දක්වා 24% ක පමණ ප‍්‍රමාණයක අගයක් ගන්නා අතර (සේවක වැටුප් ඇතුළුව) හිමිකරුවන්ගේ කොටස ලෙස 75% පමණ වෙන්වේ.

මෙම ක්‍ෂේත‍්‍රයේ ගැනුම්කරුවන් හා සමාගම් විසින් අධික ලාභ උපයා ගන්නා අතර ඇගළුම් නිෂ්පාදන, සැපයුම් දාමයේ ප‍්‍රධානතම කාර්යය කරන්නා වූ ශ‍්‍රමිකයින්ට එහි නිසි ප‍්‍රතිලාභ ගලා නොයන වග ඒෂියන් ෆෝලෝ වේජ් සංධානය විසින් 2006 කරන ලද සමීක්‍ෂණයේ ප‍්‍රතිඵලවලින් ද පෙන්නුම් කරයි.

– ලෝක ජනගහනයෙන් අඩකට වැඩි පිරිසක් ද, ලෝකයේ දුප්පතුන්ගෙන් අති විශාල ප‍්‍රමාණයක් ද, ආසියාව තුළ ජීවත් වෙති. ඔවුන්ගෙන් බහුතරය ඒක්සත් ජාතීන්ගේ දරිද්‍රතා මට්ටමෙන් පහළ ආදායම් ලබන ඉතා දිළින්ඳන් වේ. මේ සන්දර්භය තුළ ඉතා අඩු වැටුප් හා සේවා කොන්දේසි මත කම්කරුවන් සේවයේ යොදවා ගැනීමට හැකි වී තිබේ.
– අවුරුදු 15 හා 25 අතර තරුණ ක‍්‍රියාශීලී ශ‍්‍රමිකයන් ශ‍්‍රම බලකායේ බහුතර කොටස වන අතර එයින් තරුණ ස්ත‍්‍රීන්ගේ ප‍්‍රමාණය 80% පමණ වේ. එයින් වැඩි ප‍්‍රමාණයක් සංක‍්‍රමණික සේවිකාවන් ය.
– ශ‍්‍රී ලාංකීය ආර්ථිකයට ඉමහත් මෙහෙවරක් ඉටු කරමින් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙන්නා වූ බහුතරය ස්තී‍්‍රන්වන ඇගළුම් ක්‍ෂේත‍්‍රයේ කම්කරුවෝ මෙවන් වූ විවිධාකාර ගැටළුවලට මුහුණ දෙති. ගෝලීය ඇඟළුම් ක්ෂෙත‍්‍රයේ ඇති අඛණ්ඩ තරඟකාරීත්වය, විවිධ ආර්ථික අර්බුද මෙන්ම රට තුළ සිදුවන්නා වූ ප‍්‍රතිව්‍යුහගත කිරීම් ආදියෙහි ප‍්‍රතිඵලයන් නිසාවෙන් ද මෙම සේවක සේවිකාවන්ගේ සේවා කොන්දේසි හා ලැබෙන ප‍්‍රතිලාභ තව දුරටත් අභියෝගයන්ට ලක්වෙමින් පවතී.

චමිලා තුෂාරි

ඡුායාරූප: ඉවැන්ජලින් ද සිල්වා

ආශ‍්‍රිත ග‍්‍රන්ථ :
1. ශ‍්‍රී ලංකාවේ නිදහස් වෙළඳ කලාප පිළිබඳ විමසුමක් – ඩාබිඳු, 1997.
2. ශ‍්‍රී ලාංකික ඇගළුම් කර්මාන්ත සේවකයින් සඳහා ක්‍ෂේත‍්‍රයට විශේෂ වූ ජීවන වැටුප – ප‍්‍රසන්න ආර්.පී.අයි.ආර්, ගෞතමන් පී.බී, 2005.
3. ජාතික කම්කරු සංවිධානය, 2003.
4. ආසියාවට පොදු වැටුප් සංකල්පය, 2006.
5. විමෙන් වර්කින් වර්ල්ඞ් වයිඞ් 2004.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s